Tuesday, May 30, 2017

මානව භාෂාව නම් වූ මානවයාගේ භාෂාව

අපේ halt එකට එන සදෙව් කියන්නේ භාෂාව පිළිබඳ දැනුමෙන් පරතරේට ගිය කෙනෙක් විදියට තමයි  halt එකේ හැමෝම ඔහුව හදුන්වන්නේ. ඒ තරම්ම ඔහුට  භාෂාවන් පිළිබඳ හොඳ සෙවිල්ලක් තියෙනවා.     මානව භාෂාව ගැන සදෙව් හොයා ගත්තු කරුණු ටිකක් අපි අතරේ බෙදා ගත්තා.  ඔබත් එක්කත්ඒ  දැනුම බෙදා ගන්නයි මේ සුදානම.



     මානවයා සතු  වූ ඉන්ද්‍රිය ශක්තිය මෙන්ම  බුද්ධි ශක්තියේ මහිමයෙන් අනෙක් සතුන්ට නොමැති වූ  විශේෂ හැකියාවක් ලබා ගැනීමට මානවයා සමත් විය.එනම් භාෂා හැකියාවයි.පුද්ගලයෙක් සතු භාෂා හැකියාව මිනිසා අනෙක් සත්වයින්ගෙන් වෙන් කරනු ලැබූ ප්‍රධානතම සාධකය වුවා පමණක් නොව මානව සමාජයේ ඇති සන්නිවේදන ක්‍රම අතරින් ප්‍රබලම සන්නිවේදන උපකරණය බවට ද පත් විය.කිසියම් ජන සමාජයක් තම සන්නිවේදන අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රමානුකූලව හා විධිමත්ව නිර්මාණය කර ගත්  ශබ්ද , සංකේත සමුදය වන්නේ  භාෂාව  යි. මුලික වශයෙන්ම ඉන්ද්‍රිය සමුහයක් ක්‍රමානුකූලව චලනය කරමින් නිපදවන ශබ්දයන් ගෙන් සමන්විත වුවකි. මුඛ වාතය, පෝෂණ තන්තු, කණ්ඨක,දිව, තොල් ආදී ඉන්ද්‍රියන් ක්‍රමානුකූලව චලනය කරමින් විවිධ විපර්යාසයන්ට භාජනය කිරීම භාෂාමය ශබ්ද නිර්මාණයේදී සිදුවේ.මානවයාගේ සියලු චින්තනයන් ක්‍රියාත්මක වන්නේ මානව භාෂාවේ ඇති හැකියාව නිසාය.සෑම සත්ත්වයෙක්ම මුඛය හා අංගෝපාංග ආශ්‍රයෙන් නොයෙක් පණිවිඩ හුවමාරු කර ගන්නා අතර මානව භාෂාවේ ඇති හැකියාව නිසා සංකීර්ණ අදහස් හුවමාරු කර ගැනීමට ද  සංකීර්ණ සමාජයක් හා අති විශාල පුථූල ශිෂ්ටාචාරයක් ගොඩ නැගීමටද මානවයාට හැකි විය.අතීතයක් වර්තමානයක් හෝ අනාගත දුෂ්ටියක් සත්ත්වයින්ට නොමැති වීමටත් මානවයින්ට හිමි වීමටත් ප්‍රධානම සාධකය වනුයේ භාෂාවයි 
.
     ඕනෑම පුද්ගලයෙකුගේ උරුමයෙන් ලද හාෂාව “මව් භාෂව” යනුවෙන් හැඳින්වේ.භාෂාවක් වෙන් වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මානවයාගේ ලේ උරුමයයි.ලෝකයේ මානව පරිණාමය පිළිබඳ සලකන විට එක් එක් භාෂාවන් නිර්මාණය වීමට සංස්කෘතික හුවමාරුවද  බලපා තිබේ.කථික භාෂාව හෙවත් කථන භාෂාව ,ලිඛිත භාෂාව මෙන්ම සෑම ජන සමාජයකම භාවිතා වන රූප භාෂාව හා එහි අර්ථයන් හා මනෝභාවයන් මතු කිරීම ඒ ඒ සංස්කෘතීන්ට විශේෂිතව සිදු වේ.මානව සංස්කෘතින්ගේ සබඳතාවන් අතීතයේ සිට වර්තමාන සමාජය තුළ විවිධාකාරයෙන් දැක ගත හැකිය. එක් භාෂාවක්  භාවිත වන සමාජයක් සහ අන්‍ය භාෂාවක් භාවිතා වන සමාජ අතර සම්බන්ධතා ආක්‍රමණ,සංචාර,වෙළඳාම ,ස්වභාවික හේතුන් ආදීය නිසා ඇති වේ.මෙසේ එකිනෙකින් වෙනස් භාෂා භාවිතා වන සමාජ අතර සම්බන්ධතා නිසා ඇතැම් භාෂාවක් කෙරේ අන්‍ය භාෂාවක හෝ භාෂා කිහිපයක බලපෑම දක්නට හැකිය.

     ග්‍රීක දර්ශනිකයින්ට අනුව භාෂාව එකවැර හදිසියේම බිහිවූවක් නොව එය ක්‍රමයෙන් මිනිස් පරිණාමයත් සමඟ වර්ධනය වූ සාධකයකි.ලෝකයේ ඇතැම් ජනයා වචන මගින් තම අදහස් හුවමාරු කර ගන්නා අතර තවත් පිරිසක් අංග චලන මගින් තම අදහස් හුවමාරු කර ගැනීම සිදු කරනු ලබයි. ඒ අනුව ලෝකයේ පවත්නා සියලුම භාෂාවන් වාචික හා නිර්වාචික වශයෙන් කොටස් දෙකකින් සමන්විතය.මේවා භාෂා භාවිතයේ ස්වරූපයන් ලෙස හදුනාගැනිමට පුළුවනි. පුද්ගලයාගේ එදිනෙදා කර්තව්‍යයන් ඉටු කර ගැනීමට මානවයා සතු වූ භාෂාව මගින් ලැබෙන්නේ මහඟු පිටුවහලකි.මේ අනුව මානව භාෂාව සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍යතම අංගයක් බවට පත් වී තිබේ.




Tuesday, May 23, 2017

ලෝකයේ ජනප්‍රියම පූස් යාළුවා










අපේ Halt එකට නිතර එන යාලුවෙක් තමයි පිංකි කියන්නේ. එයා හරිම කැමතියි පූසන්ට. කොහේ දැක්කත් ගිහින් වඩාගන්න එක තමා එක තමා එයා කරන්නේ.හරිම ආදරෙයි.පිංකි අන්තර්ජාලයේ සැරිසරන වෙලාවක එයාට හමුවෙලා තියෙනවා ලෝකයේ ජනප්‍රියම පූස් යාළුවා ගැන.අද Halt එකට අපු ගමන්ම අපට කිවේ ඒ කතාවයි.

නළුවෙක් නිළියක්‌ වුණාම ඕනෑම වෙලාවක ජනප්‍රිය වීමේ සම්භාවිතාව වැඩියි. ඒ කාරණාව නොදන්නා කෙනෙක් නොමැති තරම්.එසේ නැත්නම් ගායකයෙක්, ගායිකාවක් ,ක්‍රීඩකයෙක් හෝ දේශපාලනඥයෙක් වෙන්න ඕනි. ඒත් ලෝකය පුරාම ජනප්‍රිය පූසෙක් ඉන්නවා කිවොත් ටිකක් හිතට සැකයි වගේ නේද ? ඔබට එහෙම හිතුනත් ඒක ඇත්ත කතාවක්.බලන්නකෝ ඔයාලත් මෙයාගේ යාළුවෙක්ද   කියලා.


මෙයාගේ නම තමයි ව්චතච. මේ යාළුවා අන්තර්ජාලයේ කොයිතරම් ජනප්‍රිය වෙලාද ඉන්නේ කියනවා නම් ෆේස්බුක් පමණක් මිතුරු මිතුරියන් 2,500,000කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා.ඒ වගේම ඉන්ස්ටර්ග්‍රැම්වලත් රසිකයෝ මිලියන 3.4 ක් පමණ ඉන්නා බවත් කියවෙනවා.කොහොම වුණත් ව්චතච  කුඩා සන්ධියේ ඉඳන්ම එයාගේ ෆොටෝ අරගෙන අන්තර්ජාලයට ඇතුළු කරන්න මෙයාව හදාවඩා ගත්ත අයිතිකාරයා පටන් අරගෙන තියෙනවා. අන්න එහෙම තමයි අපි මේ කතා කරන පූස් යාළුවා ලෝකය පුරා ජනප්‍රිය වෙන්න පටන් අරන් තියෙන්නේ.මේ කාරණාව ව්චතච දන්නවා නම් කොහොමට හිටීද ..එයට මේ තරම් රසිකයෝ සංඛ්‍යාවක් ඉන්නවා කියලා ....


Monday, May 22, 2017

halt එක ( සල්ලාපයේ නවාතැන්පොළ )





මේ කියන්න යන්නේ අලුත් කතාවක්. ඕනම කෙනෙක්ට සල්ලාපයේ යෙදෙන්න ඔන්න අපි වේදිකාවක් හැදුවා. ඒ තමයි අපේ halt එක.සල්ලාපයේ කීවට අපේ මේ halt එකේ නම් විශේෂ දේවල් ගැන තමයි ඉතින් කතා බහ කරන්නේ.අලුත් යාලුවෝ ටිකකුත් හදුන ගන්න පුළුවන්.  යන එන ගමන් අපේ halt එක පැත්තෙත් ගොඩවෙලා යන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා ඔන්න. තව විස්තර පසුවට කියන්නම්කෝ.

Thursday, May 18, 2017

විජයග්‍රහණයේ සැමරුම





    විජයග්‍රහණයේ සතුට, සැමරුම බෙදා ගන්නා මෙවන් මොහොතක ඔබේ හද තුල රුව් දෙන්නේ සතුටද දුකද නැතහොත් කම්පාවද කනස්සල්ලද කියා මා හට  හරියාකාරව නිගමනයකට ඒමට හැකියාවක් නොමැත. මන්ද මේ රංගනයේ ඔබේ භූමිකාව කුමක්ද යන්න මා නිශ්චිතව නොදන්නා හෙයිනි. මේ සැමරුමට ඔබ විවිධාකාරයෙන් සහභාගී වන්නට ඇත. ඔබට අහිමි වුයේ ඔබේ පියා විය හැකිය. නැත්නම් ඔබේ සැමියා, ඔබේ පෙම්වතා ,ඔබේ පුතා ,ඔබේ සහෝදරයා ද විය හැකිය. නැත්නම් ඔබේ හොඳම මිතුරා ළඟම හිතවතා වීමටද පුළුවනි. ඔවුන් තම ජීවිතය කැප කලේ ඔබේ, මගේ,රටේ  ආරක්ෂාව වෙනුවෙන් නොවේද? අප රට ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන ඔබට, මට යහපත් අනාගතයක් උදා කර දීමට නොවේද? රණවීරවරයන් වන ඔවුන් උදාකර දුන් මේ දෙවැනි නිදහස අද අප භුක්ති  විදින්නේ මහත් වූ ආඩම්බරයෙනි. ඒ ආඩම්බරය පිටුපස ඇති වසර 30 කුරිරු මතකය පිළිබඳ මා නැවත නැවත ආවර්ජනය කිරීමට අවශ්‍ය වන්නේ නැත. මන්ද කලින් කි පරිදි එම රංගනයේ ඔබත් එක් භූමිකාවක් රඟ පෑ නිසාවෙනි. මේ සැමරුම කිරිබත් කැල්ලක් රස විඳ රට පුරා ශබ්ද පුජා පවත්වමින් පෙළපාලියකට සහභාගී වීමෙන් සමරනවාද යන්න ඔබේ මනාපයකි. නමුත් එහි සාදාරණත්වය පිළිබඳ ගැටලුවක්ද පැන නගියි. ඔබ මෙසේ මෙම විජයග්‍රහණයේ සතුට භුක්ති වින්ඳ ද,ගේ දොරකඩට වෙලා තම පියා එනතුරු  බලන් සිටින දූ දරුවන් තවමත් සිටින්නීය. ඔවුනට  කිසිදාක තම පියාගේ උණුහුම විඳින්නට වරම් නොමැති වන්නට විය. තම සැමියා අහිමි වූ බිරිඳගේ වේදනාව ඇගේ මුළු ජිවිත කාලය පුරාම රුව් පිළි රැව් දෙනු ඇත.  තම අහිමි වූ දරුවාගේ මතකය සමඟින් අනෙක් දරුවන් දෙස බලා හුල්ලන මව්වරුන් කොපමණ නම් සිටීද? පෙම්වතාගේ වියෝව දරා ගනු බැරිව හඬා වැළපෙන පෙම්වතියන්ගේ දුක් අදෝනාව තවමත් ඔවුන්ගේ හදවත් තුල සැගවී පවතිනවා නොවේද? .මෙකී  සංවේදීතාවයන්ට පිළිතුරක් ලබා  දීමට ඔබට පුලුවනි ද? අහිමි වූ ඔවුන් වෙනුවෙන්  විජයග්‍රහණයේ සමරන අපට කල හැකි වන්නේ ඔවුන් කල වටිනා කැප කිරීමට ආචාර කිරීම පමණි. යුදබිමේ සටන් කොට ආබාධිතව ජිවන ගමන සමඟ සටන් වඳින අපේ රණවිරුවන් රැක බලා ගැනීම අපගේ යුතුකමක් වන්නේය. ඔවුනට අහිමි දේ අපට ලබා දිය නොහැක.නමුත් ඔවුන් සතුටින් තැබීම මෙන්ම ඔවුන්ගේ අනාගතය වෙනුවෙන්  බලාපොරොත්තුවක් ඇති කිරීම  අපට කළ හැකිය. විජයග්‍රහණයේ සැමරුම මැයි 18 දිනට පමණක් සිමා නොකට සැමදා ඔවුන් අපට උදා කල දුන් මෙම  විජයග්‍රහණය මතකයේ තබා ගනිමින් ඔවුන් වෙනුවෙන් කල යුතු මෙහෙවර කිරීම අපගේ යුතුකමක් මෙන් වගකීමක්ද වන්නේය.                                                                                            

Monday, May 15, 2017

මව්වරුන්ගේ දිනය වෙනුවෙන්




     මැයි 14 කියන්නේ මව්වරුන් වෙනුවෙන් ජාත්‍යන්තරව වෙන් කර තිබෙන දිනයයි.මව්වරුන්  වෙනුවෙන් දිනයක් වෙන් කිරීමට අවශ්‍ය ද ? යන පැනය ඔබගෙන් ඇසුවොත් විවිධ ප්‍රතිචාර බලාපොරොත්තු වීමට පුළුවනි.

     දසමාසයක් කුස තුළ දරාගෙන බොහෝ කම්කටළු වේදනාවන් ඔස්සේ අපව මෙලොවට බිහිකරන්නට ඇය ගන්නා උත්සාහය සමාන කිරීමට ලොව මෙතෙක් කිසිදු දෙයක් බිහිවී නොමැත.එය එතරම් උත්තරීතර වූ කාර්යක් වීම ඊට හේතුවයි. කතාවට කියන්නේද “ අම්මා කියන්නේ කවුද  කියලා දැන ගන්නනම් අම්මා කෙනෙක් විය යුතුමයි” කියලයි.මන්ද  ඒ උත්තරීතර පදවියේ වටිනාකම බාහිරින් මැන බැලීමට නොහැකි නිසයි. දරුවෙකු මෙලොවට බිහි කලායින් පසුව තම දරුවන් කෙරෙහි ඇය තුල ඇතිවෙන අසීමිත ආදරය, සෙනෙහස කෙතරම්ද කීමට අපට නොහැකිය.එය මුළු හදවතින්ම පමණක්  නොව ලේ, මස්, නහර ,ඇටමිදුළු වල පවා රෝපිතව පවතී.මෙලොව උපන් දරුවාගේ අනාගතය වෙනුවෙන් මව්වරුන් කැපවන්නේ අසීමිත බලාපොරොත්තු රැසක් සමඟිනි.කුමන ආර්ථික මට්ටම් ,පවුල් පසුබිම් ,තරාතිරම් වල සිටියද තම දරුවාට යහපත් වූ අනාගතයක් සකස් කිරීමට ඇය ගන්නා උත්සාහය අසීමිතය.පියවරුන් දරුවන් පිළිබඳ නොබලනවා යන්න මෙයින් අදහස් නොකෙරේ.එමෙන්ම මවුවරුන් අතරේද දරුවන් කෙරෙහි තම හද තුළ සෙනෙහසක්, දයාවක් ඇති නොවන අයද නොසිටිනවාම නොවෙයි.සමස්තයක් වශයෙන් ගත්කල මව්වරුන් තම දරුවන්ගේ යහපත  වෙනුවෙන් ජිවිත කාලයේ වැඩි කාලයක් කැපකරමින් සිටියි.

     මෙවන් වූ මෙහෙවරක නිරත වන අපේ මව්වරුන් වෙනුවෙන් එක් දිනක් පමණක් වෙන් කිරීම සදාරණද? එක් දිනකට පමණක් සීමා නොකර සැමදා තම මව්වරුන් පියවරුන් වෙනුවෙන් කාලය යෙදවීම සාදාරණ නොවන්නේද? ඔවුන් තම දරුවන් රැක බලාගෙන සමාජයේ සාර්ථක තැනකට ගෙන ඒමට ගන්නා උත්සාහයට කෘතගුණ සලකන්නට එක් දිනක් කෙසේ වත් ප්‍රමාණවත් නොවේ.සැමදා ඒ වෙනුවෙන් කැපවීම දරුවන් වන අපගේ යුතුකමකි.මව්වරුන්  පමණක් නොව පියවරුන්ද අපගේ දෙවිවරුන් වේ.ඔවුන් වියපත් වන විට මහමඟ දමා යෑම නොව කල යුතු වන්නේ.මහා මන්දිර යානවාහන  කොපමණ තිබුණද ඔවුන්ව වැඩිහිටි නිවාසයේ තනිකිරීම නොව කලයුතු වන්නේ. ඔවුන්ව  රැක බලාගෙන සතුටින් ජිවත් වීමට සුදුසු පරිසරයක් සකස් කිරීම දරුවන් වන අපගේ යුතුකමයි. ආදරය.කරුණාව,දයාව පිරි නැමිය යුතුයි.ඔවුන්ව  හුදකලා නොකළ යුතුයි.මව්වරුන්ගේ දිනය එක් දිනකට පමණක් සිමා නොකර සැමදා මව්වරුන් වෙනුවෙන් කැප විය යුතුයි. එය දරුවන් වශයෙන් මව්වරුන් වෙනුවෙන් කලහැකි ඉතාම   සරල වූ කර්තව්‍යයකි .
   
                                                                                       



                                                

Sunday, May 14, 2017

බෝනික්කන්ටත් පණ ඇවිත්





      බෝනික්කන් කියන්නේ කුඩා දරුවන් සෙල්ලම් කිරීම සඳහා යොදා ගන්නා භාණ්ඩයක් ලෙස අප කවුරුත් හොදා කාරවම දන්නා කරුණකි. ඉතා අලංකාර විවිධ වර්ගයේ බෝනික්කන් සැම රටකම පාහේ නිෂ්පාදනය කෙරේ. මේ කියන්න යන්නේ ඊට වඩා වෙනස්ම කතාවක් 
.
    මෙක්සිකෝවේ අගනගරය වන මෙක්සිකෝ නගරයේ (Mexico City) දකුණු පැත්තට වෙන්න Xochimilco නමින් හැඳින්වෙන පළාතක තමයි මේ කතාව වෙන්නේ.  මඩ වගුරු පුංචි දුපත් වලින් ගහන මේ පළාත ලෝකෙම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ බෝනික්කන්ගේ දිවයින එහෙම නැත්තනම් The Island of the Dolls කියන සුවිශේෂී නමින්.

    ‘ අතීතයේ දවසක මේ දුපතේ පදිංචි වෙලා ඉදලා තියනවා ජුලියන් සන්ටානා කියලා පුද්ගලයෙක්.දුපතේ හුදකලාව ජිවත් වුනු ජුලියන්ට දවසක් මඩ වගුරක තිබිල පුංචි දැරියකගේ මළ සිරුරක් හම්බ වෙලා තියෙනවා.දැරියගේ සිරුර හමුවීමත් සමග දැඩි ලෙස කම්පා වෙන ජුලියන් මළ සිරුර සමග පාවෙමින් තිබූ ඇගේ බෝනික්කා අසල ගසක එල්ලා තබනවා’

     දුපත හා බැඳුණු පුරාවෘත්තයට  අනුව එලෙස දැරියගේ බෝනික්කා ගසේ එල්ලීමෙන් අනතුරුව මිය ගිය දැරියගේ ආත්මය ජූලියන්ට වධ දෙන්නට පටන් ගෙන තිබේ . එයින් සැනසීමක් ලබන්න ඔහු කර ඇත්තේ  දුපත  පුරාම බෝනික්කන් සහ බෝනික්කන්ගේ කොටස් එල්ලා තැබීමයි. ජූලියන් මේ දේට කොච්චර ඇබ්බැහි උනාද කියනවනම් දූපතේ භෝග වග කර ලැබෙන මුදලින් පවා ඔහු බෝනික්කන් මිලදී ගෙන උමතුවෙන් මෙන් දූපත පුරාම බෝනික්කන්  එල්ලන්න පටන් ගෙන තිබේ.

     2001 වර්ෂයේ ජූලියන් අභිරහස් අන්දමින් මිය ගොස් ඇත . ඔහු මිය යන්නෙත් දියේ ගිලීමෙන්, දැරියගේ මළ සිරුර හමුවූ ස්ථානයේමයි. බොහෝ දෙන පවසන්නේ දුපතේ බෝනික්කන්ට අරක්ගෙන සිටින භූතාත්මය විසින් ජූලියන් මරා දමන්නට ඇති බවයි. ඊට පසුව  ජූලියන් නොමැතිව හුදෙකලා වූ මේ දුපතට අඩිය තියන්න ඒ පළාතේ මිනිස්සු බොහොමයක් දෙනා බිය වී ඇත. එකට හේතුව මේ විරූපී බෝනික්කන්ට රාත්‍රී කාලයේදී පණ එන බවට ඔවුන් විශ්වාස කිරීමයි.

    පසු  කලෙක එක්කෙනා දෙන්න මේ දුපතට යන්න ගත්තට පස්සේ ගොඩක් දෙනා දුපත නරඹන්නට ගොස්ය . හැබැයි ඒ යන කට්ටියත් නිකන් ඉඳලා නැහැ. එයාලත් මේ දුපතේ විරූපී බෝනික්කෝ එල්ලන්න පටන් අරන්. කොහොමහරි දැන් දස දහස් ගානක් බෝනික්කෝ මේ දුපතේ ගස් වල වැටවල් වල එල්ලිලා ඉන්නවා දැක ගන්න පුළුවන් බව යන පිරිස් පවසනවලු. ඒ ඔක්කොම බෝනික්කන්ගේ තියෙන්නේ මහා විරූපී අත්භූත පෙනුමක්ලු . ඒ නිසා මේ දුපත ලෝකයේ වඩාත් භයංකර ස්ථානයක් ලෙස  ප්‍රසිද්ධියට පත් වී තිබෙන බව ඔවුන් පවසයි.                                                                                                                 

                                                                                                          

Tuesday, May 9, 2017

වෙසක් පෝයට ගෙදර යන ගමන්





       සිංහල හින්දු අලුත් අවුරුද්ද ගෙවී යනවත් සමඟම ඊළගට එළඹේන්නේ වෙසක් පුන් පෝයයි.අවුරුද්දෙන් පසුව රැකියාවට අධ්‍යාපනයට නගරයට පැමිණෙන බොහෝ පිරිසක් වෙසක් පෝයටද නැවත තම නිවෙස් බලා යති.  ඒ යන බොහෝ පිරිසක් වෙළදපොලෙන් වෙසක් කුඩුවක් මිලදී ගැනිමට ද අමතක කරන්නේ නැත. ඒ විතරක් නෙවේ පහන්, පහන් කුඩු , බල්බ් වැල් ,ඉටි පන්දම් ,කොඩි වැල් ආදී වෙසක් සැරසිලි බොහොමයක් මිලදී ගනියි. ගම්වල සිටින පිරිස්ද මෙම වෙසක් සැරසිලි මිලදී ගැනීමට නගරය කරා  ඇදෙති.වෙළදපොල තුල මෙකි සැරසිලි විකිණීම සඳහා වෙළෙන්දන් අතර විශාල වූ  තරගකාරිත්වයක් අද වනවිට  නිර්මාණය වී හමාරය. නගරයේ අඩියෙන් අඩිය  මාර්කට් එකේ ඉරිදා පොළ මෙන් මෙම වෙළදසැල් අපට දැක ගැනීමට පුළුවන.

     අපි දශක කීපයක්  පමණ පසුවට හැරි බලන කල වෙසක් පෝය දින සැරසෙන්නේ අපගේ ස්වයං නිර්මාණයන් රැසකගෙනි. උණ පතුරු කපාගෙන විත් විව්ධ වර්ගයේ වෙසක් කුඩු රැසක් නිර්මාණය කිරීමට සැම නිවසකම පහේ  නිවැසියන් පෙළඹේ.කුඩා දරුවන් අතර තරගයක් ඇති වන්නේ අලංකාරම වෙසක් කුඩු නිර්මාණය කර ගැනීමටයි. අද වෙළදපොලෙන් මිලදී ගන්නා බල්බ් වෙනුවට එදා පහන් වැටකින් නිවස ආලෝක කරන ලදී. කොඩි වැලක් නිවාස තුලම මසා ගැනීමට පසුබට නොවිය.මිදුලේ  සුදු වැලි අතුරා අලංකාර කරන්නට විය.පොහොය දිනය තුල සැම නිවසකම පහේ ස්වභාවික අලංකාරයන් රැසක එකතුවක් දැක බලා ගැනිමට හැකියාව ලැබුණි. නමුත්  වර්තමානය වන විට වෙළදපොලෙන් මිලදී ගන්නා කෘතීම වෙසක් සැරසිලි රැසක් නිවෙස් වල  දැකබලා ගැනීමට පුළුවනි.තරඟකාරීත්වය ඇති වන්නේ වැඩිම මිලක් ගෙවා ඇති සැරසිලි අතරය.

    එදා සහ අද අතර මේ වෙනස ඇති වීමට හේතුව කුමක්ද යන පැනය ඔබගෙන් විමසුවොත් නොයෙක් දෙනාට නොයෙක් පිළිතුරු තිබීමට පුළුවනි. “ දැන් ඉතින් හැමෝම කාර්යබහුල  වෙලානේ ඕවා කරන්න කොහෙද වෙලාව. අනේ ඉතින් කඩෙන් ගන්න තියේ නම් මොකටද මහන්සි වෙන්නේ. ඕවා බොරු වැඩ කඩෙන් ගෙනත් කුඩුවක් එල්ලනවා. යකඩ කුඩුවක් ගෙනත් තියන් අවුරුද්දෙන් අවුරුද්ද්ට කොළ අලවලා ගන්නවා. කම්මැලි වැඩ අනේ ඕවා. ” වැනි පිළිතුරු බලාපොරොත්තු වීමට පුළුවනි. මිනිසුන්ගේ මෙවන් ප්‍රතිචාර නිසා වෙළදපොළ තුල වෙසක් සැරසිලි වෙළදුන්ට තම වෙළදාම සාර්ථකව කර ගැනීමට හැකියාව ලැබි තිබේ. වර්තමානය වන විට වෙසක් පොහෝ දිනයද  ව්‍යාපාරකයින්ට සාර්ථකව තම බිස්නස් කරගැනීමට හැකි දිනයක් බවට පත් වී හමාරය.



Sunday, May 7, 2017

ප්‍රාදේශීය ව්‍යවහාර


  
(මධ්‍යම පළාතේ , මහනුවර දිස්ති‍්‍රක්කයේ , පූජාපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිතුල්ගොල්ල හා උඩ කිතුල්ගොල්ල ග‍්‍රාම නිළධාරි වසම් දෙක ආශී‍්‍රතව කරනු ලබන අධ්‍යයනයකි)

        පුද්ගලයාගේ උපතේ සිට මරණ මංචකය  දක්වා වන ජීවන පැවැත්මට ප‍්‍රධාන වශයෙන් උපකාර වන්නේ භාෂාවයි. පුද්ගලයාගේ සියලූ අවශ්‍යතා ,  ඕනෑ එපාකම් සන්නිවේදනය වන්නේ භාෂාවෙනිි. මහද්වීපයෙන් මහද්වීපයට , රටකින් රටකට , පළාතෙන් පළාතට සහ ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට භාෂාව විවිධ වේ. භුගෝලීය සීමාවන් , සංස්කෘතික රාටාවන් , ආගමික පරිසරය සහ ජීවනෝපාය භාෂා ව්‍යවහාරය වෙනස් වීමට ප‍්‍රධාන වශයෙන් බලපානු ලැබේ. උදාහරණයක් වශයෙන් දකුණු පළාතේ වෙරළබඩ ආශි‍්‍රත භාෂා රටාවක් ගොඩ නැගී තිබේ. රජරට ප‍්‍රදේශයේ ගොවිතැන හා බැඳුණු  භාෂා රටාවක් ගොඩ නැගී තිබේ. මේ අනුව වර්තමානයේ ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස් වු භාෂා ව්‍යවහාරයක් හදුනා ගැනිමට පුළුවනි.

       මධ්‍යම පළාත සහ වයඹ පළාතේ සීමාවන් හි කිතුල්ගොල්ල සහ උඩ කිතුල්ගොල්ල ග‍්‍රාමයන් පිහිටා තිබේ. එනම්,  මධ්‍යම පළාතේ මහනුවර දිස්ති‍්‍රක්කයේ පූජාපිටිය ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට කිතුල්ගොල්ල සහ උඩ කිතුල්ගොල්ල ග‍්‍රාමසේවා වසම් අයත් වේ. මේ හේතුවෙන් මහනුවර , මාතලේ , කුරුණෑගල යන දිස්ති‍්‍රක්කයන් තුනෙන්ම මිශ‍්‍ර වූ පොදු  භාෂා ව්‍යවහාරයක් මෙම ග‍්‍රාමයන් හි දක්නට ලැබේ. එනම් ප‍්‍රධාන වශයෙන් භාවිතා වන්නේ උඩරට භාෂා ව්‍යවහාරයයි.

            ශබ්ද රටා , ස්වර රටා , ව්‍යංජන රටා , නාම පද රටා සහ ක‍්‍රියා පද අතර භාෂාවේ විශේෂත්වයක් දැක ගැනීමට පුළුවන. මෙම ග‍්‍රාමයන්හී භාෂා භාවිතයේ දී ඒ බව දැකගත හැකිය. උදාහරණයක් ලෙස ක‍්‍රියා පද රටාවන්හී පොදු භාෂා ව්‍යවහාරයට වඩා යම් වෙනසක් දැකිය හැකිය.

       පොදු භාෂාව                              උඩරට භාෂාව
       බැලුවා                                    බලව්වා
       ඇල්ලුවා                                   අල්ලව්වා
       හිටවනවා                                  හිටෙව්වා
        තැබුවා                                     තිබ්බා
        කරද්දී                                      කරද්දිං
        හරවද්දි                                     හරවද්දිං
        කරන්න                                     කරන්ට
       බොන්න                                    බොන්ට
       ගන්න                                       ගන්ට
        
පුද්ගලයාගේ ජීවිතයේ උපතේ සිට මරණය දක්වා විවිධ අවස්ථා , විවිධ ක‍්‍රියාකාරකම් මෙන්ම ජීවන පැවැත්ම සඳහා අවශ්‍ය භාෂා භාවිතයක් පවතී. ඒ අවස්ථා පහත පරිදි ගොනු කර හැකිය.

ජීවන චක‍්‍රය - ( උපත , වැඩිවිය පැමිණීම , මංගල - අවමංගල අවස්ථා ) කෘෂිකර්මාන්තය ඥාතීත්වය මිනිස් ගතිගුණ විශේෂිත පුද්ගල නාම මනුෂ්‍ය ශරීරය ගෘහ නිර්මාණ ආගමික බඩු භාණ්ඩ ආහාර පාන ස්ථාන නාම  ගැමි ව්‍යවහාරය භාව ප‍්‍රකාශන පද වෙනත්

ජීවන චක‍්‍රය
  මිනිසෙකුගේ උපතේ සිට මරණය දක්වා වු විවිධ සමාජීය කටයුතු හේතු කොටගෙන ඒ ආශ‍්‍රිතව ගොඩ නැගුණු පද හදුනාගැනිමට පුළුවනි.

දොළ දුක        - ගර්භනි සමයේ සිටින මවට ඇතිවන ආශාව
කිරි දොවනවා - මවගේ පියයුරු වලින් කිරි ගැනිම
ඉඳුල් කට ගෑම - දරුවාට ප‍්‍රථමයෙන් ආහාර කැවිම
ගුඩුස් ඇරිම - කුඩා දරුවන්ට කිරි පිට උගුරේ යැම වැලැක්විම සඳහා කරනු ලබන ක‍්‍රියාවලියකි
හිල් පොල් කට්ට        - කුඩා දරුවන් නෑවිම සඳහා යොදා ගන්නා පොල් කට්ට
රක්ත උෂ්ණය         - කුඩා දරුවන්ට වැළදෙන සම ආශ‍්‍රිත රෝගයකි
කිරි පණු ගාය         - කුඩා දරුවන්ට වැළදෙන ගුද මාර්ගය ආශ‍්‍රිත රෝගයකි
කිරි දානය                  - පත්තිනි මෑණීයන් වෙනුවෙන් කිරි අම්මාවරුන් සඳහා දෙනු ලබන දානය
ඇස් වහ පිච්චීම         - ඇස් වහ කට වහ දෝෂ වලින් වැලැක්විම සඳහා කරනු   ලබන කාර්යකි
වැඩිවියට පැමිණීම
කොටහලු වෙනවා
ලොකු ළමයෙක් වෙනවා    - දැරියක් වැඩිවියට පැමිණීම
ගෙට වෙනවා
ජම්බු ගහෙන් වැටෙනවා
කොටහලු ගෙදර - දැරිය වැඩිවියට පැමිණි ගෙදර එම මංගල්‍යය
වතුර වක් කරනවා - වැඩිවියට පත් දැරිවිය නැවිම
කිල්ල - කිළිටි, අපිරිසිදු
රෙදි නැන්දා - වැඩිවියට පත් දැරිවිය ස්නානය කරවිමට පැමිණෙන තැනැත්තිය  
කිලි රෙදි         - වැඩිවියට පත්වුණු මොහොතේ සිට ජලය ස්නානය කරන තෙක් එම දැරිවිය                                                      හැදගෙන සිටින වස්ත‍්‍ර
ලමිස්සි - යොවුන් වියට පා තබන ගැහැණු ළමයා
තනිකම් දෝෂය        - වැඩිවියට පත්වු අවස්ථාවේදි දැරිවිය තනිවම සිටිනම් මෙම දෝෂය ඇතිවන                                                    බව පිළිගැනේ

මංගල අවස්ථාවේදි පෙළවහ - විවාහය
මුල් ඇදුම - උඩරට නිළමේවරුන් විසින් උත්සව අවස්ථා වලදි අඳිනු
                                 ලබන ඇඳුම් කට්ටලය . වර්තමානයේ මානාල මහතා අඳිනු
                                 ලබයි
කිරිකඩ සේලය -    විවාහ චාරිත‍්‍ර වලදි මානාලයා විසින් මානාලිය කළගුණ සැලකිමක් වෙනුවෙන් දෙනු                                         ලබන සුදු රෙදි
                                ප‍්‍රමාණය
දෙවනි ගමන - මනාලිය මනාලයාගේ නිවසට පැමිණිම
පොරු මස්තකය - විවාහ චාරිත‍්‍ර ඉටුකිරිමේදි මනාල යුවල නග්ගන ලද පොරුව
මංගල මුද්ද - මනාල යුවල විසින් එකිනෙකට පළදන ලද මුද්ද
බින්න බහිනවා - ස්වාමි පුරුෂයා බිරිඳගේ දෙමාපියන්ගේ ගෙදර වාසය කිරිම

අවමංගල අවස්ථාවේදි වල දානවා - මිනිය භුමිදානය කිරිම
ආදාහන පෙරහැර - අවමංගල පෙරහැර
මළ බෙරය - මළ ගෙදර දී පමණක් භාවිතා වන මරණය දැනුම් දිම සඳහා  භාවිතා  කරන බෙරය
දෙණක         - මිනි පෙට්ටිය
මරණ කිල්ල - මළ සිරුරෙන් වහනය වන විෂබීජ අවට වාතයේ රැුදි ඇති බව පිළිගැනිම
මළ බත         - දේහය තැම්පත් කර තිබු  ස්ථානයේ පිසින ලද බත
පැන් වැඞීම - මිය ගිය තැනැත්තාගේ පවුලේ උදවිය විසින් අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේදි                                         මෙය සිදු කෙරේ
කනත්න        - දේහය භුමිදානය කරන ස්ථානය
සොහොන
කැරකොප්පුව - ආදාහනාගාරය
මතක බණ - මරණය සිදු වි දින හතෙන් සිදු කරන ලද ධර්ම දේශනාව

කෘෂිකර්මාන්තය         ගොවිතැන් කටයුතු කිරීමේදී ඒ හා බැඳුණු වචන භාවිත කරනු ලැබේ.

කමත  -       ගොයම් පෑගීමට සකස් කරන ලද භූමිය
කුරුලූ පාලූව  - කුඹුරට යාබදව කුරුල්ලන්ටම වෙන් වුණු ගොඩ ඉඩම
පිල්ලෑව    -       කුඹුරක් අද්දරම පිහිටි ඉඩම
ගොං කණුව  - කමත මැද සිටුවන ලද කණුව (පුවක් කඳක් කපා සකස් කරන ලද්දකි)
අඳකාරයා  -       අස්වැන්නෙන් කොටසක් ලබාගන්නා අදහසින් අනුන්ගේ කුඹුරක වැඩ කරන ගොවියා
අඳේ          -        අඳකරුවෙකුට අස්වැන්නෙන් ලැබෙන කොටස
වක්කඩ  -      එක් කුඹුරකින් තවත් කුඹුරකට වතුර බැස්සවීම සඳහා නියරේ කැපෙන විවරය
මුත්තෙට්ටුව  - කුමුරක වැඩ කරන ගොවියා අරභයා දෙන ආහාරයට නමකි
ගොම්පස්  -       ගොම
අත්පෝරුව  -  දිගින් අඩි එක හමාරක්  හෝ දෙකක්ද, පළලින් අඩි භාගයක්ද පමණ වූ ලී පුවරුවකට සවි                                 කරනු ලබන දිග රිටක් සහිත උපකරණය
කෙවිට           -    ගොන්නු දැක්කවීම සඳහා යොදාගන්නා කෝටුව
හුළු අත්ත   -      හේන වටා ඇති කොළරොඩු වලට ගිනි තැබීම සඳහා වියළි පොල් අතුවලින් සාදාගන්නා                                ලද්දකි
සරුවාලේ   - ගොවිතැන් කටයුතු වලදි ගොවියන් විසින් අදින ලබන කලිසමට තරමක් සමාන ඇදුමකි

ඥාතීත්වය නෑදෑයන් හැඳින්වීම පිණිස යෙදෙන සිංහල වචන පද්ධතිය ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස් වන්නනකි. මෙහි දැක්වෙන්නේ නෑකම් රටාව සම්බන්ධ වූ උඩරට, මධ්‍යම පළාතේ අප ප‍්‍රදේශයේ යෙදෙන පද සමහරකි.

අත්තම්මා - පියාගේ මව හෝ මවගේ මව
අප්පච්චි - පියා
නැන්දම්මා - පියාගේ සහෝදරිය, මාමාගේ බිරිඳ, බිරිඳගේ හෝ සැමියාගේ මව
නෑනා - මාමාගේ දුව, බිරිඳගේ හෝ සැමියාගේ සහෝදරිය
මස්සිනා - මාමාගේ පුතා, බිරිඳගේ හෝ සැමියාගේ සහෝදරයා
මාමණ්ඩි - මාමා , බිරිඳගේ හෝ සැමියාගේ පියා
ලොකු අප්පච්චි - පියාගේ වැඩිමහල් සහෝදරයා - ලොකු තාත්තා
අම්මණ්ඩි - මාමා

මිනිස් ගතිගුණ මිනිසුන්ගේ කායික හා චරිත ලක්‍ෂණ විවිධාකාරය.

අමන - මෝඩ (අමන ගෑනියක්)
කඩප්පුලි - පහත්, නීච (කඩප්පුලි ගෑනු)
දහපදුරා - පහත්, නීච (දහපදුරා ගෑනු)
පච - පහත්, විශ්වාස කළ නොහැකි (පච මිනිස්සු)
පඩත්තල - නොහොබිනා වැඩක් සිදු කිරීමේදී (පඩත්තල කතා)
හුජ්ජ - නොමේරූ, පහත් (ඔය හුජ්ජ කොල්ලො මොනවද දන්නේ)

විශේෂිත පුද්ගල නාම අසමජ්ජාතියා - නීච, අධම චරිතයක් ඇත්තා
හෙලිකොට්ටා - නිර්වස්ත‍්‍රයෙන් සිටින්නා
ඇට්ටරයා - කියන දේ නොඅසන කොලුවා
ඇට්ටිම්බා - මල පහ කොට නොසෝදා සිටින්නා
පොන්නයා - පෞරුෂයක් නොවන පුද්ගලයා
වලත්තයා - අධික කාම සේවනයේ යෙදිමට කැමති පුද්ගලයා
පාහරයා - පහත් කි‍්‍රයාවන් වල යෙදෙන්නා
කඩප්පුලියා - පහත්, අධම චරිතයක් ඇත්තා
බේබද්දා - අධික ලෙස මත්පැන් පානය කරන්නා
හඞ්ඩා - අපිරිසිදුව සිටින තැනැත්තා
කාලකණ්නියා   - කාලය නිකරුනේ නාස්ති කරන්නා
රස්තියාදුකාරයා - ප‍්‍රයෝජනවත් කාර්යක් නොකරන තැනැත්තා
නාකියා - වැඩිහිටි පුද්ගලයා 

මනුෂ්‍ය ශරීරය මනුෂ්‍ය ශරීරයේ විවිධ අවයව ද ඒ හා සම්බන්ධ වූ විවිධ ක‍්‍රියා ද රෝග පීඩා ද හැඳින්වීම පිණිස අප ප‍්‍රදේශයේ යෙදෙන පද සමහරක් පහත දැක්වේ. 

අතපය හෝදන්ට යනවා - මළපහ කරන්නට යනවා
කංකලාඳුරු - කණේ හටගන්නා කලාඳුරු
කරප්පං - හමේ ඇතිවන කුෂ්ඨ රෝගයක්
කිඹුහුං යනවා - කිවිසුම් අරිනවා හච්චිං අරිනවා - කිවිසුම් අරිනවා දොට්ට පිලට යනවා - මුත‍්‍රා කිරීමට යනවා
පිට උගුරෙ යනවා , ඉස්පොල්ලෙ යනවා
- බත් ඇට, වතුර ආදිය ශ්වාසනාලයට ඇතුළු වීම
බඩ යනවා - බඩ සැහැල්ලූ වෙනවා

ගෘහ නිර්මාණගෙවල්, පන්සල්, දේවාල ආදි ගෘහ නිර්මාණ විශේෂ ද ඒවාගේ අංගෝපාංගද දැක්වෙන පද සමහරක් මෙහි ඇතුළත් වේ.

අටුගේ    - වී ගබඩා කොට ඇති කාමරය කක්කුස්සිය- වැසිකිළිය පිළිකන්න - ගේ වටා ඇති බිම් තීරුව දරගේ - දර මඩුව මැද මිදුල - ගෙයක් ඇතුළත පිහිටි මිදුල ඉස්සරහ, ඉස්තෝප්පුව  - සාලය දෙවැට - වැටවල් දෙකකට මැදි වු පාර මඩුව - මුලුතැන්ගේ පිටු පස සාදන ලද කුඩා කාමරය පත්තිරිප්පුව - දළඳා මාලිගාව හා සම්බන්ධ අටපට්ටම් ගෘහය - රජතුමා උත්සවාදිය නැරඹුවේ                                                මෙහි සිට ය පල්ලෙ මාලෙ - දළඳා මාලිගාවේ පහළ මාලය මඟුල් මඩුව - දළඳා මාලිගාව යාබද පිහිටා ඇති ගොඩනැගිල්ල හේවිසි මණ්ඩපෙ - පන්සලක හෝ දේවාලයක හේවිසි ගැසීම සඳහා වූ මණ්ඩපය 

    ආගමික- පන්සල ආශ‍්‍රිත 

හීල් දානය     - උදෑසන දානය
සලාක දානය - මාසයේ නියමිත දිනට පන්සලට දෙනු ලබන දානය
ජීව දානය - වැඩිහිටි පුද්ගලයන්ගේ නිරෝගී සුවය පතා දෙනු ලබන දානය
කිරි පිඩු දානය - කිරි , මී පැණි සමඟ සකස් කර ගන්නා කිරිබත කිරිහාර - පන්සලට දෙනු කිරිබත් දානය

බඩු භාණ්ඩ

මැටි, ලී, රන් ආදියෙන් නිපදවන ලද නොයෙක් භාණ්ඩ සමූහයක් අප ප‍්‍රදේශයෙහිද දක්නට ලැබේ.
අප්පල්ලෙ - කට පළල්ව සිටින පරිදි මැටියෙන් කළ භාජනය, හට්ටිය ඉලත්තට්ටුව - බුලත්විට සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තැන්පත් කිරීම පිණිස වූ පාදයක් සහිත තට්ටුව - බුලත්                                         තට්ටුව කුරුණිය - ආහාර ගෙන යාම පිණිස වේවැල්වලින් තැනූ පෙට්ටිය
කොළොම්බුව - වාඩිවීම සඳහා ලීයෙන් කළ කුඩා ආසනය ඔළිඳ කොළොම්බුව- ඔළිඳ ක‍්‍රිඩාව සඳහා යොදා ගන්නා ලී පුවරුව නාරස්සනේ - පොළොව බිඳීමට ගන්න ායකඩ ඉන්න - අලවංගුව පිහා කැත්ත - පිහිය මඩක්කුව - වළඳක් වැසීම පිණිස භාවිත කරන අඩියක් සහිත මැටි කෝප්පය මෝල් අත - බුලත් වංගෙඩියෙහි ලා බුලත් කෙටීමට ගන්නා කුඩා යකඩය ලූණු පොල්කට්ට - ලූණු දියර තැන්පත් කිරීම පිණිස වූ පොල්කට්ට ඉලපත - ගේ, මිදුල ඇමදීම පිණිස, පොල් ආදි ඉරටුවලින් සදන්උපකරණය
තේඩාව - ලණූව
  සොකඩෙ / ටකය - රිලවුන් ද`ඩුලෙනන් වැනි සතුන් එළවිම සඳහා ටිං බෙලෙක්ක වලින් සකස්                                                    කරන ලද උපකරණයකි ස්ථාන නාම තමා අවට කිසියම් ස්ථානයක් හෝ භූමි ලක්‍ෂණයක් හැඳින්වීම පිණිස මෙම වචන භාවිත කෙරේ
කනත්ත - සොහොන් පොළ ගොම්මන - තුරු වදුල නිසා අඳුරු වූ ස්ථානය
දහපදුරාවෙ - නොයෙක් ස්ථානවල, නන්නත්තාරේ හද්දිකරාවෙ - හැමතැනම, නොයෙක් තැන්වල ඉස්පිරිතාලෙ - රෝහල දොට්ට පිලට - මුත‍්‍රා කිරීමට යන ස්ථානය
අරහේ - වෙනත් ස්ථානයක් හැදින්විම සඳහා භාවිතා කරයිආහාර පාන අප ප‍්‍රදේශයේ සෑදෙන විශේෂ ආහාර පාන ද, ආහාරයට ගන්නා ආහාර පාන සඳහා ද භාවිත කරන පද තිබේ.
අඩුක්කු - දෙවියන් සඳහා වෙන් කරන ලද ආහාර
හීල් දානය - පන්සල වෙත රැගෙන යන උදෑසන දානය
මාළු - ව්‍යංජන
ඉඹුල් කිරිබත්, කොට්ට කිරිබත්   -  ඇතුළත පැණි පොල් දමා, ඉඹුල් හෙවත් කොට්ට ගෙඩි මෙන් ගුළි                                                                    කරනු ලබන කිරිබත් කිරි ආහාර - කිරිබත් - බුදුන් වහන්සේ වෙනුවෙන් පූජා කරන ලද කිරිබත් උඳු වළලූ        - ඇතුළත පැණි සිටින පරිදි, වළලූ මෙන් උඳු පිටියෙන් සකස් කරන රස කැවිලි                                                  විශේෂය පැණි වළලූ      - ඇතුළත පැණි සිටින පරිදි, වළලූ මෙන් පාන් පිටියෙන් සකස් කරන රස  කැවිලි විශේෂය හීරිබත් - කලින්දා රාත‍්‍රියෙහි ඉතිරි වූ බත් වැලිතලප - හාල්පිටිවලින් සාදා ගන්නා රස කැවිලි විශේෂයකි අලූත් මාළු - මුහුදු මාළු, මත්ස්‍ය ආහාර
ආස්මි - පිටිවලින් සාදන, රැුල් සහිත කැවිලි විශේෂයකි කඩයප්පම් - කඩ කෑම

ගැමි ව්‍යවහාරය
     යමක් සිදුකරන හෝ සිදුවන ආකාරය දක්වන පද ‘ආකාරවාචී පද ’ නමින් හැඳින්වේ. 

අල්ල පනල්ලේ - අතරතුර ඇට්ටිම්බෙං - මලපහ කොට නොසෝදා
කට කමසෙයියාවක් නැතිව - එක දිගටම කතා කරන විට කියනු ලැබේ
තට්ට තනියම - තනිව, හුදෙකලාව නයි අරිනවා - බොරු කියනවා තනි පංගලමේ - තනිව, හුදෙකලාව පිම්මේ - ඉක්මනට, කඩිනමින් මූනිච්චාවට - බොරුවට පංපෝරිය - ලොකුකම් කියවීම වාරෙට - බොහෝ සේ ජංජාලෙ - අවුල මක බැවිලා යනවා  -    ඉවත් වෙලා යනවා
කෙලිංකටිනං ඉන්නවා - එක්තරා විධියකට වාඩි වී සිටිම

භාව ප‍්‍රකාශන
විස්මය විමතිය, කණගාටුව, එකඟත්වය වැනි භාවයක් ප‍්‍රකාශ කිරීමේදී මෙම පද භාවිත කෙරේ.

අඩා - පිරිමි දරුවන් ඇමතීමේදී මුලට යෙදේ අඞී - ගැහැණු දරුවන් ඇමතීමේදී මුලින් යෙදේ අඩෙ අප්පා - විස්මය පළ කිරීමේදී යෙදේ ඉඳකිං - හෙළා දැකීමේදී යෙදේ එහෙනං - එකඟත්වය පළ කිරීමේදී යෙදේ ඔය කීවේ - වෙනත් කෙනෙකු කියූ දෙයකට අසතුට පළ කිරීමේදී යෙදේ දෙයියෝ සාක්කි - විස්මය හැඟවීමේදී යෙදේ හුට්ට පටස් - අනපේක්‍ෂිත යමක් සිදුවූ විට ඉබේට කියවෙන පදයකි පට්ට - නියමයි
අප්පටසිරි - පුදුමයක් හැඟවිමේදි යෙදේ

වෙනත් කල වැද්දා - උගුඩුවා පාන්කිරිචිචා - පොල්කිචිචා
ඇඹුල් දෙහි - ඇඹුල් දොඩම් කරාඔු - කරාබු වෑවර   - කුරුම්බා ජමනාරං - ලොකු නාරං විශේෂයකී වල් - තණකොළ මඩ පුවක් - කල්තබා ගැනීම සඳහා කලක් වතුරේ තබා ගන්නා පුවක්
විසි ගහනවා - වල් පැළැටි ඉවත් කිරිම
පිදේනිය   - තොවිල් වලදි භාවිතා කරන පේරේත තටුව සුම්බරේ - හිසේ බදින ජටාව සිනි ගඳ - මාළු, මස් සේදිමේදි එන දුර්ගන්ධය කඞ්ඩ - ඉංශ‍්‍රිසි භාෂාව ආමන්ත‍්‍රණය  සඳහා යොදා ගැනේ කුඬේ බානවා - කුඩය අකුලනවා පට්ට කෑල්ල - යොවුන් වියේ සිටින ගැහුණු ළමයා












Thursday, May 4, 2017

අග්නි සංකල්පය

   




 අග්නි හෙවත් ගින්නෙහි ආරම්භය විශ්වයේ ආරම්භය තරමට ම පැරණි ය. ගින්න මනුෂ්‍යයා විසින් උපක්‍රමශීලීව ලබාගත් කෘතීම නොවන දෙයකි. ආදි මානවයාගේ  විවිධ කාර්යන් උදෙසා අග්නි හෙවත් ගින්න ක්‍රමයෙන් යොදා ගැනුණි. ආහාර පිසිම, ශීතලෙන් මිදීම, සන්තර්පණය වීම හා සතුරන් මෙන් හා වන සතුන් පළවා හැරීම වැනි කාර්යයන්හිදී ගින්න ප්‍රයෝජනවත් විය. ගින්න ක්‍රමයෙන් දේවත්වයට නැංවීම සඳහා පැරැන්නන් උත්සහ දැරූ බව පෙනේ. ඍග්වේදයේ අග්නි සුක්ත මේ පිළිබඳ පැරණිතම සාධකය වේ. අග්නි පිළිබඳ අදහස් ක්‍රමයෙන් සංවර්ධනය වී ගිය ආකාරය පසුකාලීන භාරතීය සාහිත්‍යයෙන් පැහැදිලි වේ. අග්නි වෙත සිදු කැරුණු සුක්ත 15 කට අධික සංඛ්‍යාවක් ඍග්වේදයේ  ඇත.


         බුදුන් වහන්සේ ගින්න උපමා වශයෙන් ගෙන ධර්ම දේශනා කළ අවස්ථා දැක්වේ. හින්දු සම්ප්‍රදායය තුල මෙන් අග්නි සංකල්ප තේමා කොටගත් නිර්මාණ බෞද්ධ සම්ප්‍රදායය තුල මුල් බැස ගෙන නොමැති බව යි. වෙනත් ආගම්වල ද විවිධ කාර්යන් සඳහා අග්නි යොදාගෙන ඇත. ලෝකයේ  විවිධ රටවල ප්‍රාථමික සමාජ අතර මෙන් ම ශිෂ්ටාචාරයෙන් දියුණු යැයි සම්මත සමාජවල ද ගින්නට විශේෂ ස්ථානයක් හිමි ව ඇත. ලංකාවේ පැවැත්වෙන ආගමික හා ජාතික චාරිත්‍ර, පුදපුජා හා අහිචර විධි ආශ්‍රය කොටගෙන අග්නි භාවිතය සිදු ව ඇත. ලාංකික බුදුසමයෙන් ගින්න දේවත්වයක් නැංවීමක් ගැන තොරතුරු හෙළි නොවේ.

          පැරණි බෞද්ධ මුලාශ්‍රයන්හි අග්නි දේව සංකල්පය පිළිබඳ සාධනීය ආකල්පයකින් සටහන් නො වන නමුත් පසුකාලීන බෞද්ධ සම්ප්‍රදායය බ්‍රාහ්මණික අදහස් විෂයෙහි දැඩි ප්‍රත්‍යක්ෂ බවක්ද නොදක්වයි. හින්දු සංකල්පය බෞද්ධ ඇසින් විවරණය කිරීමට බෞද්ධ දර්ශනය සමත් වූ ආකාරයත් හැරුණු විට බයිබලයේ පැරණි තෙස්තමේන්තුවට අනුව දෙවියන් වහන්සේ ගින්නෙන් මැවුම්කරුවා ලෙස ක්‍රිස්තු භක්තිකින්  විසින් හදුන්වා ඇත. හින්දු යාග  වලට සමාන සංසිද්ධී එහි දී දැකගත හැකි වන බැවින් අග්නි සංකල්පය බයිබල දෘෂ්ටියට ගැලපෙන පරිදි හසුරුවා ඇත. ඉස්ලාම් ආගමික න්‍යායට අනුව අග්නි මාර්ගයෙන් අල්ලා දෙවියන් කැඳවීමක් සඳහන් ව ඇති බැවින් අග්නි දේවත්වයට නගා තිබේ. මෙම  ආගමවල අග්නි දෙවියන් හා මනුෂ්‍යයන් සම්බන්ධ කැරෙන මාධ්‍යයක් ලෙස සංස්කෘතිය හදුනා ගැනීමට පුළුවනි.


          විවිධ රටවල  ජන දිවිය  හා සම්බන්ධ අග්නි චාරිත්‍ර විධි හඳුනා ගැනිමට පුළුවනි. මිනිසාගේ උපතේ සිට මරණය දක්වා විවිධ ජීවන අවස්ථාවල කාර්යයන් සඵල කරගැනීම පිණිස විවිධ වූ චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතියේ මධ්‍යගත සංකල්පයන් ලෙස මානව විද්‍යාඥායන් විසින් හදුන්වා දී තිබේ. මෙම චාරිත්‍ර විධි අතර අග්නි ප්‍රමුඛතවක් දක්වා ඇත. 


Wednesday, May 3, 2017

විසදුම




















මම හිතුවා
මොකක්ද ?
අපි ඉක්මන් උනා වැඩි කියලා
හ්ම්ම්...
අපිට තව ඉවසන්න තිබුණා
හ්ම්ම් ...
මම කොහොමද මුහුණ දෙන්නේ සමාජයට
බය වෙන්න එපා පැටියෝ..
ඇයි?
හන්දිය කඩේ සයිටම් ඩොක්ටර් ඉන්නවනේ


Monday, May 1, 2017

රස විඳින්න


විරෝධාකල්ප ගීතයක විචාරය   

          

 දන මන පිනවා රඟ දක්වාලා
වෙස්සන්තර චරිතේ
අදින්න පුබ්බක මසුරු සිටාණෝ
බෝසත් දම් පුරතේ

යසකිත් රාවේ තුඩ තුඩ විසිරි
සදා තෙපුල් මැද රජ මැති ඇසුරේ
මල්දම් පළදා සේසත් නංවා
සත් රුවනින් පුද දේ

සාගිනි දියකර නීරස බෝජුනේ
වැරහැලි දවටා වැහෙරෙන සිරුරේ
තෙමහල් පායේ බිහිදොර අයිනේ
මට්ටකුණ්ඩලී බලාහිදී


 පද රචනය       -    පල්ලේගම හේමරතන හිමි
  සංගීතය         -    සේන වීරසේකර  
  ගායනය         -   ගුණදාස කපුගේ
     
    සාහිත්‍ය නිර්මාණයකදී නිර්මාණකරුවාගේ අනුභූතිය වස්තු විෂය තුළින් සමාජයේ තිබෙන කාරණාවන් දැනුවත්ම හෝ නොදැනුවත්ම එලි දැක්වේ. සමාජයේ පවතින විවිධ විෂමතාවයන් , විවිධ අරගල, ගැටුම් ද ඒ අතර වේ. එය නිර්මාණකරුවා සිතින් මවා ගත දේ නොවන්න පුළුවනි. හොඳ සාහිත්‍ය නිර්මාණයකදී මෙම ලක්ෂණය දැකගත හැකිය. විරෝධාකල්ප ගීත බිහිවනුයේ සමාජ ආර්ථික විපර්යාසයන් නිසාවෙන් අසරණ වූ නිර්ධන පන්තිය තුළිනි. ඉහත දක්වන ලද ගීතය තුලින් ද කියවෙන්නේ  සමාජයේ පවතින එක්  විෂමතාවයක් පිලිබඳව ය. පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් විසින් රචිත මෙම ගීත කාව්‍ය සේන වීරසේකරගේ සංගීත සුසන්යෝගයෙන් ගුණදාස කපුගේ ශුරීන් විසින් ගායනා කරයි. සමාජයට මහත් වූ අරුතක් සපයන මෙම ගීත කාව්‍ය මෙසේ  විචාරය කරමි.

     අප සමාජය  විවිධ හේතුකාරක මත,  විෂමතාවන් මත බේදා දක්වා තිබේ. එහිදී හදුනා ගත හැකි ප්‍රබල සාධකයක් ලෙස ‘ ඇති නැති පරතරය ’දැක්වීමට පුළුවනි. එනම් ධනපති හා නිර්ධන ලෙස පන්ති භේදයක් අප සමාජයේ දැක ගත හැකිය. ධනපතියා නිර්ධනයාව පීඩාවට පත්කරමින් ඔහුගේ අභිමතාර්ථය ඉටු කර ගනියි. එයින් තැලෙන්නේ, අසරණ වන්නේ නිර්ධන පන්තියේ සාමාන්‍ය මිනිසා ය. ධනපතියා තමන්ට රිසි දේ අවශ්‍ය දෑ අසාධාරණව හෝ ඉෂ්ට කර ගනියි.මෙකි සමාජ විෂමතාවය හේමරතන හිමියන්ගේ නිර්මාණශීලි පද ගැලපුමට හසු වන්නේ මෙසේ ය. 

දන මන පිනවා රඟ දක්වාලා 
වෙස්සන්තර චරිතේ 
අදින්න පුබ්බක මසුරු සිටාණෝ 
බෝසත් දම් පුරතේ 

    අප සමාජයේ බොහෝ දානමාන සිදු කෙරෙන්නේ සුප්‍රකට පුජනීය ස්ථාන වලදී ය. ගමේ පන්සලේ දනක් නොදෙන දානපතියෝ දළදා මාළිගාවට ජය සිරි මහා බෝ හාමුදුරුවන්ට රුවන්වැලි සෑ රදුන්ට රන් රුවන් දන් දී දාන පාරමිතා පුරන ආකාරය ජනමාධ්‍ය ඔස්සේ අපට දැක බලා ගැනීමට පුළුවනි. නිරන්තරයෙන් හරසුන් ලෙස දානමාන පවත්වා, ඒ දෙස බලා සිටින්නන් තාවකාලිකව පිනවන දන් දෙන්නෝ ඉහත කී පුජනීය ස්ථාන වලද අඩු නැත.ඔවුහු විශාල ලෙස මුදල් වියදම් කරති. කාලය වැය කර මහන්සි වෙති. කෙසේ හෝ තමන්ගේ යටි පරමාර්ථ ඉටු කර ගනියි.බාහිරට ඒ කිසිවක් නොපෙන්වති.ඒ දෙස බලා සිටින්නෝ සාධුකාර දී පින් රැස් කර ගනිති.මෙම සිදුවීමේදී මොවුන් පිටතින් වෙස්සන්තරලා ය. ඇතුළතින් අදින්න පුබ්බකලා ය.

     මෙහි වෙස්සන්තර, අදින්න පුබ්බක සහ බෝසත් ලෙස යොදා ගෙන ඇති බෞද්ධ සාහිත්‍යයේ එන චරිතයන් මෙම පැදි පෙළ තුල සංකේත ලෙස යොදාගෙන තිබේ. සිංහල බණකතා සාහිත්‍යයේ හමුවන සද්ධර්මරත්නාවලියේ එන මට්ටකුණ්ඩලී වස්තුවේ අදින්න පුබ්බක සිටුවරයා අතිශයින් ලෝභ චරිතයකි. එවැනි ලෝභ මසුරු චරිතයන් අප සමාජයේද ඕනෑ තරම්  සිටිති. එනම් අදින්න පුබ්බකලා ඉහත කී සිදුවිම ඇසුරෙන් බොහෝ හඳුනා ගැනීමට පුළුවනි. වෙස්සන්තර සහ බෝසත් චරිත දෙස සමාජයේ නෙත් යොමු වන්නේ යහපත් සුදු චරිත ලෙසිනි. සුප්‍රසිද්ධ පින්බිම් වලින් බෝසත් දම් පුරන අදින්න පුබ්බකලා අප සමාජයේ ක්‍රියාකාරී සාමාජිකයෝ වෙති.

යසකිත් රාවේ තුඩ තුඩ විසිරි 
සදා තෙපුල් මැද රජ මැති ඇසුරේ

      එසේ කපුගේ ගායනා කරයි. ජසයා කෝලමේ එන,

“ ගම්වල තැන තැන ඇවිද ගොසින්නේ 
   වෙල්ලාවට රෙදි අසුරා ගන්නේ ”

    ගී නාද මාලාවේ ස්වර පරාසයේ වෙනසක් ඇතත් රිද්ම ලක්ෂණ අතින් හා සමස්තයක් ලෙසින් ගී තනුව මීට සමාන බවක් ඇති බව පෙනේ.ජසයා සොදන්නේ අනුන්ගේ රෙදි ය. ඔහු වේදිකාවේ රඟ දක්වන්නේ ද එය මය. එහෙත් අදින්න පුබ්බක රඟ දක්වන්නේ වෙස්සන්තර චරිතය වේ. ඒ වෙනතක් සඳහා නොව, 

මල්දම් පළදා සේසත් නංවා 
සත් රුවනින් පුද දේ 

     මල්මාලා පැලඳ පළස මතින් ආරක්ෂකයන්ද සමගින් විසිතුරු විදුලි බුබුළු හා ධජපතක මැද මගුල් සත් බෙර නාද මැද මහා ධනපතියා පැමිණ ආදායම් බද්දෙන් මිදීමට ඉදි කළ මහා තොරණ් රාජයා විවෘත කරයි.අසල සිටින්නේ බලවතුන් ය. රාත්‍රීයේ ඔවුනට මධු පානොත්සව ආදී සංග්‍රහයන් ය. තණ්හා, රති, රඟා එහි නැටුම් ගැයුම් වැයුම් ඉදිරිපත් කරනු ඇත. මෙසේ බලවතුන් පිනවීමෙන් සහ ඔවුන්ගේ ඇසුර වාසිදායකය.මන්ද ඊළඟ කොන්ත්‍රාක්තුව ද මේ ධනපතියට ය.මේ සියල්ල රඟ දැක්වෙන්නේ තොරණ පිටුපසය. මෙය සමාජ යථාර්ථයයි .අදින්න පුබ්බකලාගේ ජීවන දර්ශනය මෙය වේ.

සාගිනි දියකර නීරස බෝජුනේ 
වැරහැලි දවටා වැහෙරෙන සිරුරේ 
තෙමහල් පායේ බිහිදොර අයිනේ 
මට්ටකුණ්ඩලී බලාහිදී 

     අදින්න පුබ්බකගේ පුතු මට්ටකුණ්ඩලී ය. රන් කරුවෙකු ලවා මට සිලිටි කුණ්ඩලාභරණයක් සදා ගැනීමට ලෝභ වූ අදින්න පුබ්බක සිය දරුවාට තමා විසින්ම තලන ලද රන් කැබැල්ලක් කුණ්ඩලාභරණය ලෙස සදා දෙසවන සැරසිය. එතැන් සිට මට්ටකුණ්ඩලීය. රිසි ලෙස කුසට අහරක් නොමැත.ලෙඩකට බෙහෙතක් නැත.අදින්න පුබ්බකගේ ධනය දිනෙන් දින වැඩි විය.නමුත් දරුවා මරණාසන්නය. මළ පුතු දැකීමට එන්නෝ ධනය දකීවි යන බියෙන් අදින්න පුබ්බක දරුවා පිළමත තනි කරයි.

     මෙම කතාව යාවත්කාලීන කිරීමේදී,  අදින්න පුබ්බක දන මන පිනවා වෙස්සන්තර චරිතය රඟ දක්වන විට තුන් මහල් ප්‍රසාදයේ ද්වාරය අයිනේ කාටත් නොපෙනී මට්ටකුණ්ඩලි මේ බෝසත් චරිතය රඟ දක්වන පියා දෙස බලා සිටියි. දානය ලක්ෂගත වී ඇත්තේ එය ලැබිය  යුත්තාට නොවේ ය. ලැබිය යුත්තාට දන් දීමෙන් දානපතියාගේ යසකිත් වැඩෙන්නේ නැත. ඒ වෙත කැමරා යොමු වන්නේද නැත. ආදායම් බද්දෙන් ද නිදහස් නැත. මට්ටකුණ්ඩලිලා බලා සිටින වීදියේ දානපතියෝ උජාරුවෙන් බෝධියට රන්වැට වැඩම කරති. පිළිමයට රන් ආලේප කරති. කුසගින්නේ හඬන දරුවන්ගේ අම්මලා සාදුකාර දී සහන ප්‍රර්ථනා කරති.

     මෙම ගීතයේ යටිපෙළ අරුතින් කියා වෙන්නේ ධනේශ්වර පන්තියේ ක්‍රියාකලාපයේ එක් පැතිකඩකි.අදින්න පුබ්බක හා මට්ටකුණ්ඩලි එකම පවුලේ වුවත් ඔවුන් නියෝජනය කරනු ලබන්නේ පන්ති දෙකකි. එනම් අදින්න පුබ්බක ධනපති පන්තිය සහ මට්ටකුණ්ඩලි නිර්ධන පන්තිය නියෝජනය කරයි.එය ඉතා අපුර්ව ලෙස සංකේතානුසාරයෙන් පැදිපෙළ නිර්මාණයේදී යොදාගෙන තිබේ. මොවුන් දෙදෙනා අතර ඇති පරතරය තුලින් සමාජ පරතරය අපට හඳුනා ගැනීමට පුළුවනි.

     සාහිත්‍ය නිර්මාණයකින් සමාජයේ තිබෙන මෙම ඇති නැති පරතරය වෙනස් කළ නොහැක. නමුත් එසේ තිබෙන විෂමතාවයන් සමාජයට පෙන්වා දීමට පුළුවනි. හේමරතන හිමියන් විසින් නිර්මාණය කරන ලද මෙම පැදි පෙළ එයට කදිම උදාහරණයකි. මාක්ස්වාදීන් පවසන්නේ “ සාහිත්‍ය නිර්මාණ තුළින් වන්නේ යථාර්ථය ජය ගන්නා එල නොවෙයි යථාර්ථය ඥානනය කරන එකයි ” යනුවෙන් පවසයි. 

       නුතන සමාජයේ ධනපතියන්ගේ අසාධාරණ ක්‍රියාකලාපයන් හේතුවෙන් බොහෝ පීඩාවට ලක්වන්නේ නිර්ධන පන්තියේ සාමාන්‍ය වැසියාය. එදා වේල කන්න නැතව මහ මඟ සිඟමන්  යදින පුද්ගල කොට්ඨාශයක් ද අප සමාජයේ ජිවත් වෙති. මෙම ඇති නැති පරතරය තුලනය කිරීම තුළින් සමාජයේ යම් සමබරතාවයක් ගොඩ නැගීමට පුළුවනි. වර්තමාන සමාජයේ මෙයට කදිම උදාහරණයක් ලෙස සීග්‍රයෙන් වැඩි වූ ‘වැට් බද්ද’ පෙන්වා දීමට පුළුවනි. දේශපාලන තන්ත්‍රයේ ඉහල නිලධාරීන් තමන්ගේ අවශ්‍යතාවයන් ඉහළ මුදලකට ලබා ගනිද්දී මධ්‍යම පාන්තික මිනිසා දවසේ පඩියෙන් තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට විදින වීර්යය සුළු පටු නොවේ. මෙම ඇති නැති පරතරය ආර්ථිකයට පමණක් නොව සමාජයේ විවිධ සමාජ සංවිධාන ඔස්සේද හඳුනා ගැනීමට පුළුවන. මෙම පැදි පෙළින් ස්මතුවන තවත් කරුණක් වන්නේ ධනපති පන්තියේ මතු පිට ස්වභාවය , නැතිනම් ඔවුන්ගේ ප්‍රතිරූපය පවත්වාගෙන යෑමට ඔවුන් නියලෙන ක්‍රියාකාරකම්ය. ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමට බොහෝ ධානපතීන් බලය, ජන මාධ්‍ය ,ආගම වැනි සමාජයේ ප්‍රබල අවින් භාවිතයට ගනු ලැබේ.

     ගීතයේ සාර්ථකත්වය උදෙසා යොදා ගෙන තිබෙන භාෂාව ඉතා සරලය. වචනාර්ථය සරල ලෙස ඉදිරිපත් වුවත් පැදිපෙළ අභියන්තරයෙන් කියවෙන යටිපෙළ අරුතක් තිබෙනු ඇත.එය සංකීර්ණය ය  ඉහත විචාරයට බදුන් වුයේ එම යටි පෙළ අරුතයි. මෙම ගීතය උත්ප්‍රාස රසයෙන් යුක්තය. වෙස්සන්තර, බෝසත් චරිත උත්ප්‍රාසයෙන් යෝදාගෙන තිබේ .එමෙන්ම රූපක, සංකේත භාවිතයෙන් පැදි පෙළේ නිර්මාණශිලිත්වය හදුනා ගැනීමට පුළුවනි. 

රූපක  -    වෙස්සන්තර චරිතේ 
            අදින්න පුබ්බක මසුරු සිටාණෝ 

     මෙම රූපක සංකේතානුසාරයෙන්ද යොදා ගෙන තිබේ. බෞද්ධ සාහිත්‍යයේ ප්‍රකට චරිතයන්ගේ කතා වස්තුන් හා ක්‍රියාකලාපයන් වර්තමාන සමාජයේ චරිතයන්යට ආරෝපණය කරගෙන ඇති අයුරු හදුනා ගැනීමට පුළුවනි. පද ගැලපුම සහ පද ගලා යෑම කව්‍යොත්තියෙන් යුක්තය.ගායනා කිරීමට පහසුය.රසිකයාගේ හදවතට දැනෙන ලෙස මෙම ගීතාවලිය සුගායනය කිරීමට කපුගේ ශුරින් සමත් වීය. මධුර සංගීතය ද ගායනය සමඟ සුසංයෝගයෙන් ඉදිරිපත් කිරීමේදී කාව්‍ය රසය තව දුරටත් උද්දීපනය වනු ඇත.

     බෞද්ධ සාහිත්‍යයේ හමු වූ අදින්න පුබ්බක චරිතය පල්ලේගම හේමරතන හිමියන් නුතන සමාජයේ කූට ධනපතීන්ට ආරෝපණය කරමින් පෙන්වා ඇත්තේ ඔවුහු නිසරු දේ සඳහා ලොබ නොවී  මුදල් දන් දී වියදම් කළ ප්‍රමාණයට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වන බවයි. මුදල් අනවශ්‍ය දේට වියදම් කරන මොවුන්ගේ රෙදි වැරහැලි ඇද සයින් පෙළෙන පිඩිතයන් නොපෙනෙන්නේ මන් ද ? යන්න ගැටලුවකි.යහමින් මුදල් ඇත්තෝ සමාජයට පෙන්වන්නේ තමා තුල ඇති අදින්න පුබ්බක චරිතය නොව තමා තුල ඇති දනට පිනට ලැදි වෙස්සන්තර චරිතය යි.  ධනේශ්වර සමාජයේ කුහක චරිතයන් වෙත ගෙනෙන විරෝධාකල්පය බෞද්ධාගමික චරිතයන් හා බද්ධව නිරුපණය කිරීම මෙම ගීත කාව්‍ය තුලින් හදුනා ගැනීමට පුළුවනි.