විරෝධාකල්ප ගීතයක විචාරය
දන මන පිනවා රඟ දක්වාලා
වෙස්සන්තර චරිතේ
අදින්න පුබ්බක මසුරු සිටාණෝ
බෝසත් දම් පුරතේ
යසකිත් රාවේ තුඩ තුඩ විසිරි
සදා තෙපුල් මැද රජ මැති ඇසුරේ
මල්දම් පළදා සේසත් නංවා
සත් රුවනින් පුද දේ
සාගිනි දියකර නීරස බෝජුනේ
වැරහැලි දවටා වැහෙරෙන සිරුරේ
තෙමහල් පායේ බිහිදොර අයිනේ
මට්ටකුණ්ඩලී බලාහිදී
පද රචනය - පල්ලේගම හේමරතන හිමි
සංගීතය - සේන වීරසේකර
ගායනය - ගුණදාස කපුගේ
සාහිත්‍ය නිර්මාණයකදී නිර්මාණකරුවාගේ අනුභූතිය වස්තු විෂය තුළින් සමාජයේ තිබෙන කාරණාවන් දැනුවත්ම හෝ නොදැනුවත්ම එලි දැක්වේ. සමාජයේ පවතින විවිධ විෂමතාවයන් , විවිධ අරගල, ගැටුම් ද ඒ අතර වේ. එය නිර්මාණකරුවා සිතින් මවා ගත දේ නොවන්න පුළුවනි. හොඳ සාහිත්‍ය නිර්මාණයකදී මෙම ලක්ෂණය දැකගත හැකිය. විරෝධාකල්ප ගීත බිහිවනුයේ සමාජ ආර්ථික විපර්යාසයන් නිසාවෙන් අසරණ වූ නිර්ධන පන්තිය තුළිනි. ඉහත දක්වන ලද ගීතය තුලින් ද කියවෙන්නේ සමාජයේ පවතින එක් විෂමතාවයක් පිලිබඳව ය. පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් විසින් රචිත මෙම ගීත කාව්‍ය සේන වීරසේකරගේ සංගීත සුසන්යෝගයෙන් ගුණදාස කපුගේ ශුරීන් විසින් ගායනා කරයි. සමාජයට මහත් වූ අරුතක් සපයන මෙම ගීත කාව්‍ය මෙසේ විචාරය කරමි.
අප සමාජය විවිධ හේතුකාරක මත, විෂමතාවන් මත බේදා දක්වා තිබේ. එහිදී හදුනා ගත හැකි ප්‍රබල සාධකයක් ලෙස ‘ ඇති නැති පරතරය ’දැක්වීමට පුළුවනි. එනම් ධනපති හා නිර්ධන ලෙස පන්ති භේදයක් අප සමාජයේ දැක ගත හැකිය. ධනපතියා නිර්ධනයාව පීඩාවට පත්කරමින් ඔහුගේ අභිමතාර්ථය ඉටු කර ගනියි. එයින් තැලෙන්නේ, අසරණ වන්නේ නිර්ධන පන්තියේ සාමාන්‍ය මිනිසා ය. ධනපතියා තමන්ට රිසි දේ අවශ්‍ය දෑ අසාධාරණව හෝ ඉෂ්ට කර ගනියි.මෙකි සමාජ විෂමතාවය හේමරතන හිමියන්ගේ නිර්මාණශීලි පද ගැලපුමට හසු වන්නේ මෙසේ ය.
දන මන පිනවා රඟ දක්වාලා
වෙස්සන්තර චරිතේ
අදින්න පුබ්බක මසුරු සිටාණෝ
බෝසත් දම් පුරතේ
අප සමාජයේ බොහෝ දානමාන සිදු කෙරෙන්නේ සුප්‍රකට පුජනීය ස්ථාන වලදී ය. ගමේ පන්සලේ දනක් නොදෙන දානපතියෝ දළදා මාළිගාවට ජය සිරි මහා බෝ හාමුදුරුවන්ට රුවන්වැලි සෑ රදුන්ට රන් රුවන් දන් දී දාන පාරමිතා පුරන ආකාරය ජනමාධ්‍ය ඔස්සේ අපට දැක බලා ගැනීමට පුළුවනි. නිරන්තරයෙන් හරසුන් ලෙස දානමාන පවත්වා, ඒ දෙස බලා සිටින්නන් තාවකාලිකව පිනවන දන් දෙන්නෝ ඉහත කී පුජනීය ස්ථාන වලද අඩු නැත.ඔවුහු විශාල ලෙස මුදල් වියදම් කරති. කාලය වැය කර මහන්සි වෙති. කෙසේ හෝ තමන්ගේ යටි පරමාර්ථ ඉටු කර ගනියි.බාහිරට ඒ කිසිවක් නොපෙන්වති.ඒ දෙස බලා සිටින්නෝ සාධුකාර දී පින් රැස් කර ගනිති.මෙම සිදුවීමේදී මොවුන් පිටතින් වෙස්සන්තරලා ය. ඇතුළතින් අදින්න පුබ්බකලා ය.
මෙහි වෙස්සන්තර, අදින්න පුබ්බක සහ බෝසත් ලෙස යොදා ගෙන ඇති බෞද්ධ සාහිත්‍යයේ එන චරිතයන් මෙම පැදි පෙළ තුල සංකේත ලෙස යොදාගෙන තිබේ. සිංහල බණකතා සාහිත්‍යයේ හමුවන සද්ධර්මරත්නාවලියේ එන මට්ටකුණ්ඩලී වස්තුවේ අදින්න පුබ්බක සිටුවරයා අතිශයින් ලෝභ චරිතයකි. එවැනි ලෝභ මසුරු චරිතයන් අප සමාජයේද ඕනෑ තරම් සිටිති. එනම් අදින්න පුබ්බකලා ඉහත කී සිදුවිම ඇසුරෙන් බොහෝ හඳුනා ගැනීමට පුළුවනි. වෙස්සන්තර සහ බෝසත් චරිත දෙස සමාජයේ නෙත් යොමු වන්නේ යහපත් සුදු චරිත ලෙසිනි. සුප්‍රසිද්ධ පින්බිම් වලින් බෝසත් දම් පුරන අදින්න පුබ්බකලා අප සමාජයේ ක්‍රියාකාරී සාමාජිකයෝ වෙති.
යසකිත් රාවේ තුඩ තුඩ විසිරි
සදා තෙපුල් මැද රජ මැති ඇසුරේ
එසේ කපුගේ ගායනා කරයි. ජසයා කෝලමේ එන,
“ ගම්වල තැන තැන ඇවිද ගොසින්නේ
වෙල්ලාවට රෙදි අසුරා ගන්නේ ”
ගී නාද මාලාවේ ස්වර පරාසයේ වෙනසක් ඇතත් රිද්ම ලක්ෂණ අතින් හා සමස්තයක් ලෙසින් ගී තනුව මීට සමාන බවක් ඇති බව පෙනේ.ජසයා සොදන්නේ අනුන්ගේ රෙදි ය. ඔහු වේදිකාවේ රඟ දක්වන්නේ ද එය මය. එහෙත් අදින්න පුබ්බක රඟ දක්වන්නේ වෙස්සන්තර චරිතය වේ. ඒ වෙනතක් සඳහා නොව,
මල්දම් පළදා සේසත් නංවා
සත් රුවනින් පුද දේ
මල්මාලා පැලඳ පළස මතින් ආරක්ෂකයන්ද සමගින් විසිතුරු විදුලි බුබුළු හා ධජපතක මැද මගුල් සත් බෙර නාද මැද මහා ධනපතියා පැමිණ ආදායම් බද්දෙන් මිදීමට ඉදි කළ මහා තොරණ් රාජයා විවෘත කරයි.අසල සිටින්නේ බලවතුන් ය. රාත්‍රීයේ ඔවුනට මධු පානොත්සව ආදී සංග්‍රහයන් ය. තණ්හා, රති, රඟා එහි නැටුම් ගැයුම් වැයුම් ඉදිරිපත් කරනු ඇත. මෙසේ බලවතුන් පිනවීමෙන් සහ ඔවුන්ගේ ඇසුර වාසිදායකය.මන්ද ඊළඟ කොන්ත්‍රාක්තුව ද මේ ධනපතියට ය.මේ සියල්ල රඟ දැක්වෙන්නේ තොරණ පිටුපසය. මෙය සමාජ යථාර්ථයයි .අදින්න පුබ්බකලාගේ ජීවන දර්ශනය මෙය වේ.
සාගිනි දියකර නීරස බෝජුනේ
වැරහැලි දවටා වැහෙරෙන සිරුරේ
තෙමහල් පායේ බිහිදොර අයිනේ
මට්ටකුණ්ඩලී බලාහිදී
අදින්න පුබ්බකගේ පුතු මට්ටකුණ්ඩලී ය. රන් කරුවෙකු ලවා මට සිලිටි කුණ්ඩලාභරණයක් සදා ගැනීමට ලෝභ වූ අදින්න පුබ්බක සිය දරුවාට තමා විසින්ම තලන ලද රන් කැබැල්ලක් කුණ්ඩලාභරණය ලෙස සදා දෙසවන සැරසිය. එතැන් සිට මට්ටකුණ්ඩලීය. රිසි ලෙස කුසට අහරක් නොමැත.ලෙඩකට බෙහෙතක් නැත.අදින්න පුබ්බකගේ ධනය දිනෙන් දින වැඩි විය.නමුත් දරුවා මරණාසන්නය. මළ පුතු දැකීමට එන්නෝ ධනය දකීවි යන බියෙන් අදින්න පුබ්බක දරුවා පිළමත තනි කරයි.
මෙම කතාව යාවත්කාලීන කිරීමේදී, අදින්න පුබ්බක දන මන පිනවා වෙස්සන්තර චරිතය රඟ දක්වන විට තුන් මහල් ප්‍රසාදයේ ද්වාරය අයිනේ කාටත් නොපෙනී මට්ටකුණ්ඩලි මේ බෝසත් චරිතය රඟ දක්වන පියා දෙස බලා සිටියි. දානය ලක්ෂගත වී ඇත්තේ එය ලැබිය යුත්තාට නොවේ ය. ලැබිය යුත්තාට දන් දීමෙන් දානපතියාගේ යසකිත් වැඩෙන්නේ නැත. ඒ වෙත කැමරා යොමු වන්නේද නැත. ආදායම් බද්දෙන් ද නිදහස් නැත. මට්ටකුණ්ඩලිලා බලා සිටින වීදියේ දානපතියෝ උජාරුවෙන් බෝධියට රන්වැට වැඩම කරති. පිළිමයට රන් ආලේප කරති. කුසගින්නේ හඬන දරුවන්ගේ අම්මලා සාදුකාර දී සහන ප්‍රර්ථනා කරති.
මෙම ගීතයේ යටිපෙළ අරුතින් කියා වෙන්නේ ධනේශ්වර පන්තියේ ක්‍රියාකලාපයේ එක් පැතිකඩකි.අදින්න පුබ්බක හා මට්ටකුණ්ඩලි එකම පවුලේ වුවත් ඔවුන් නියෝජනය කරනු ලබන්නේ පන්ති දෙකකි. එනම් අදින්න පුබ්බක ධනපති පන්තිය සහ මට්ටකුණ්ඩලි නිර්ධන පන්තිය නියෝජනය කරයි.එය ඉතා අපුර්ව ලෙස සංකේතානුසාරයෙන් පැදිපෙළ නිර්මාණයේදී යොදාගෙන තිබේ. මොවුන් දෙදෙනා අතර ඇති පරතරය තුලින් සමාජ පරතරය අපට හඳුනා ගැනීමට පුළුවනි.
සාහිත්‍ය නිර්මාණයකින් සමාජයේ තිබෙන මෙම ඇති නැති පරතරය වෙනස් කළ නොහැක. නමුත් එසේ තිබෙන විෂමතාවයන් සමාජයට පෙන්වා දීමට පුළුවනි. හේමරතන හිමියන් විසින් නිර්මාණය කරන ලද මෙම පැදි පෙළ එයට කදිම උදාහරණයකි. මාක්ස්වාදීන් පවසන්නේ “ සාහිත්‍ය නිර්මාණ තුළින් වන්නේ යථාර්ථය ජය ගන්නා එල නොවෙයි යථාර්ථය ඥානනය කරන එකයි ” යනුවෙන් පවසයි.
නුතන සමාජයේ ධනපතියන්ගේ අසාධාරණ ක්‍රියාකලාපයන් හේතුවෙන් බොහෝ පීඩාවට ලක්වන්නේ නිර්ධන පන්තියේ සාමාන්‍ය වැසියාය. එදා වේල කන්න නැතව මහ මඟ සිඟමන් යදින පුද්ගල කොට්ඨාශයක් ද අප සමාජයේ ජිවත් වෙති. මෙම ඇති නැති පරතරය තුලනය කිරීම තුළින් සමාජයේ යම් සමබරතාවයක් ගොඩ නැගීමට පුළුවනි. වර්තමාන සමාජයේ මෙයට කදිම උදාහරණයක් ලෙස සීග්‍රයෙන් වැඩි වූ ‘වැට් බද්ද’ පෙන්වා දීමට පුළුවනි. දේශපාලන තන්ත්‍රයේ ඉහල නිලධාරීන් තමන්ගේ අවශ්‍යතාවයන් ඉහළ මුදලකට ලබා ගනිද්දී මධ්‍යම පාන්තික මිනිසා දවසේ පඩියෙන් තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට විදින වීර්යය සුළු පටු නොවේ. මෙම ඇති නැති පරතරය ආර්ථිකයට පමණක් නොව සමාජයේ විවිධ සමාජ සංවිධාන ඔස්සේද හඳුනා ගැනීමට පුළුවන. මෙම පැදි පෙළින් ස්මතුවන තවත් කරුණක් වන්නේ ධනපති පන්තියේ මතු පිට ස්වභාවය , නැතිනම් ඔවුන්ගේ ප්‍රතිරූපය පවත්වාගෙන යෑමට ඔවුන් නියලෙන ක්‍රියාකාරකම්ය. ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමට බොහෝ ධානපතීන් බලය, ජන මාධ්‍ය ,ආගම වැනි සමාජයේ ප්‍රබල අවින් භාවිතයට ගනු ලැබේ.
ගීතයේ සාර්ථකත්වය උදෙසා යොදා ගෙන තිබෙන භාෂාව ඉතා සරලය. වචනාර්ථය සරල ලෙස ඉදිරිපත් වුවත් පැදිපෙළ අභියන්තරයෙන් කියවෙන යටිපෙළ අරුතක් තිබෙනු ඇත.එය සංකීර්ණය ය ඉහත විචාරයට බදුන් වුයේ එම යටි පෙළ අරුතයි. මෙම ගීතය උත්ප්‍රාස රසයෙන් යුක්තය. වෙස්සන්තර, බෝසත් චරිත උත්ප්‍රාසයෙන් යෝදාගෙන තිබේ .එමෙන්ම රූපක, සංකේත භාවිතයෙන් පැදි පෙළේ නිර්මාණශිලිත්වය හදුනා ගැනීමට පුළුවනි.
රූපක - වෙස්සන්තර චරිතේ
අදින්න පුබ්බක මසුරු සිටාණෝ
මෙම රූපක සංකේතානුසාරයෙන්ද යොදා ගෙන තිබේ. බෞද්ධ සාහිත්‍යයේ ප්‍රකට චරිතයන්ගේ කතා වස්තුන් හා ක්‍රියාකලාපයන් වර්තමාන සමාජයේ චරිතයන්යට ආරෝපණය කරගෙන ඇති අයුරු හදුනා ගැනීමට පුළුවනි. පද ගැලපුම සහ පද ගලා යෑම කව්‍යොත්තියෙන් යුක්තය.ගායනා කිරීමට පහසුය.රසිකයාගේ හදවතට දැනෙන ලෙස මෙම ගීතාවලිය සුගායනය කිරීමට කපුගේ ශුරින් සමත් වීය. මධුර සංගීතය ද ගායනය සමඟ සුසංයෝගයෙන් ඉදිරිපත් කිරීමේදී කාව්‍ය රසය තව දුරටත් උද්දීපනය වනු ඇත.
බෞද්ධ සාහිත්‍යයේ හමු වූ අදින්න පුබ්බක චරිතය පල්ලේගම හේමරතන හිමියන් නුතන සමාජයේ කූට ධනපතීන්ට ආරෝපණය කරමින් පෙන්වා ඇත්තේ ඔවුහු නිසරු දේ සඳහා ලොබ නොවී මුදල් දන් දී වියදම් කළ ප්‍රමාණයට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වන බවයි. මුදල් අනවශ්‍ය දේට වියදම් කරන මොවුන්ගේ රෙදි වැරහැලි ඇද සයින් පෙළෙන පිඩිතයන් නොපෙනෙන්නේ මන් ද ? යන්න ගැටලුවකි.යහමින් මුදල් ඇත්තෝ සමාජයට පෙන්වන්නේ තමා තුල ඇති අදින්න පුබ්බක චරිතය නොව තමා තුල ඇති දනට පිනට ලැදි වෙස්සන්තර චරිතය යි. ධනේශ්වර සමාජයේ කුහක චරිතයන් වෙත ගෙනෙන විරෝධාකල්පය බෞද්ධාගමික චරිතයන් හා බද්ධව නිරුපණය කිරීම මෙම ගීත කාව්‍ය තුලින් හදුනා ගැනීමට පුළුවනි.
ස්තූතියි
ReplyDelete