Friday, July 7, 2017

මහාකවි කාලිදාසයන්ගේ මේඝදූතය

  



ලෝකයේ ප්‍රථම සන්දේශ කාව්‍යය පිළිබඳ අපට අසන්නට ලැබෙනුයේ පුරාණ භාරතයෙනි.ඒ මහකවි කාලිදාසන්ගේ මේඝදූතය යි.එක් යක් සෙනවියකු විසින් සිය ප්‍රියව වෙත වලාවක් අත යවන ලද පෙම් පණිවිඩයක් ගැන කියැවෙන සංස්කෘත කාව්‍යයකි.මෙම කෘතිය මුල්ම සන්දේශ කාව්‍යය ලෙස සැලකෙන නමුත් පුරාණ චීන කවියෙකු වූ ක්‍රි:පු: 274 දී පමණ මිය ගිය වූ යුවාන් වලාවක් අත යැවූ පණිවිඩයක් ගැන ගයිල් නමැති පඬිවරයාගේ චීන ඉතිහාස සාහිත්‍යයේහි සඳහන් වෙයි.නමුත් සාහිත්‍ය අධ්‍යනය කරන්නන් අතර වැඩිපුර කතා බහට ලක් කෙරෙන්නේ මේඝදූතය මුල්ම සංදේශ කාව්‍යය බවයි. මේඝදූතයේ කතා පුවත සැකෙවින් මෙසේය.

“කුවේර නම් යක්ෂ නායකයාගේ මානස නම් පියුම් විලක් තිබුණි.මේ විලෙහි නෙළුම් මල් රැකීමට ළඟදි විවාපත් තරුණ යක්ෂයෙකුට භාර කොට තිබිණි.ඔහු තම තරුණ භාර්යාව පිළිබඳ නිතර සිත් බැදීමෙන් තමන්ට පැවරුණු රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට නොහැකි විය. මේ බව දැනගත් කුවේරයා යක්ෂයා පිළිබඳ වෛරී සිත් ඇති කරගනිමින් දිශාවන්ට අධිපති හස්ති සමුහයා ලවා ඔහුගේ පියුම් විලේ වූ මල් විනාශ කරවන ලදී. කෝපයට පත් කුවේරයා වසරක් මුළුල්ලේ තරුණ සෙන්පතියාට විරහා දුක විඳින්නට ශාප කරන ලදී.සිය  ප්‍රිය බිරියගෙන්  වියෝව සිත් තැවුලෙන් රාමගිරි පර්වතයෙහි සිටින යක් සෙනවියාට දිනක් තම හිසට උඩින් යන වලාවක් පෙනෙයි.ඔහු ඒ වලාව අමතා තම ප්‍රියාව වෙත පණිවිඩයක් යවයි. කාලිදාසයන් අතින් නොයෙකුත් වර්ණනා නමැති මසින් ලෙයින් පිරි දුත කාව්‍යයක් ලෙස මේඝදූතය හැඳින්වීමට පුළුවනි.”
පෞද්ගලික අත්දැකීමක් ආශ්‍රය කොට ගෙන ප්‍රතිනිර්මාණය කරන ලදැයි සිතිය හැකි මෙම කතා ප්‍රවෘත්තිය ඉතා රමණිය කාව්‍යයක් වන්නේ මෙම කාව්‍යය පුරාම හෘදයාංග භාවය පිරි පවතින නිසාය.කාව්‍යයයේ මුලික රසය වූ ශෘංගාරය මුළු කෘතිය පුරාම ඉතා සංයමයෙන් ඉදිරිපත් කොට ඇත.නදියක්, පර්වතයක් හෝ අන් කවර වස්තුවක් වර්ණනා කරනු ලැබුවත් කාව්‍යයේ මුලික රසයටත් ආකෘතියටත් බාධාවක් නොවන පරිද්දෙන් කාව්‍යයේ ආත්මය සමඟ බැඳී පවතින්නේ ශාරීරික අවයවයන් පරිද්දෙනි.ඒ පිළිබඳ යක් බිරිඳගේ ශෝකි ස්වභාවය සහ ඇහේ සිරුරේ විලාශය කාලිදාසයන් සින්ධු නදී වර්ණනාවට  එක් කොට ඇත්තේ ඉතා රමණිය ලෙසය.

“ සිදී ගිය දිය දහරින්
සිහින් කොට ගෙතුණු වරලසෙක සැටි පෑ
ඉවුරෙහි තුරු පෙළින් හොත් පරඬලායෙන්
පඬු පෑ රැගත්

සින්ධු නදිය,
ඇයගේ විරහ විලස් නිසා
පින්වත

( නිර්වින්ද්‍යා හැරී යෙන ) ඔබේ
පින්වත් බව පසක් කරාවි.
ඇය කිස බැවින් මුදා තර කරන්නට
සමත් වනුයේ
ඔබම හෙයිනි ”
 ( මේඝදූතය - ම.ව .සුගතපාල ද සිල්වා , 29 පි )

මේඝදූතය මුල් ම සංදේශ කාව්‍යය වුවත්,මේඝදූතය හා සම්භාව්‍ය සිංහල සංදේශ කාව්‍ය අතර සැලකිය යුතු වෙනස්කම් රාශියක් දක්නට ලැබේ. සම්භාව්‍ය සිංහල සංදේශ කාව්‍ය වශයෙන් මෙහිදී සලකන ලද්දේ ගම්පොළ,කෝට්ටේ හා සීතාවක යන අවධින්හිදී රචනා කරන ලද තිසර,මයුර,පරෙවි,කෝකිල, සැළලිහිණි, ගිරා ,හංස සහ සැවුල් යන ජේෂ්ඨ සිංහල කාව්‍යයෝ  වෙති.අනිකුත් සියලුම සංදේශ කාව්‍ය කණිෂ්ඨ ගණයට අයත් වේ. මේඝදූතය පෞද්ගලික අත්දැකීමක් ආශ්‍රයෙන් නිර්මිත මනංකල්පිත කතා ප්‍රවෘත්තියක් වීම නිසා සහෘදයාට කාව්‍යයේ අත්දැකීම් හා එක් වීමට පුළුවන.එහි හෘදයාංගම බවක් ද ඔහුට දැනෙයි. එහෙත් සිංහල සංදේශ කාව්‍ය මේ හෘදයාංගම බවෙන් තොර ය. ඒවායේ කතුවරයන්ට ආවේනික පෞද්ගලික අත්දැකීමක් නොමැත. එවැන්නකට සේයාවක්වත් දක්නට ලැබුනොත් ඒ අතරින් පතර වූ වර්ණනාවක පමණි.  සෑම සම්භාව්‍ය සන්දේශ කාව්‍යයකම මූලික හරය වී ඇත්තේ කිසියම් පොදු අරමුණක් ඉටු කර ගැනීමේ අභිලාෂයෙන් දෙවියන් වෙත කරන ලද කන්නලව්වකි. රජ,බිසව,ඇමති ගණයා,රට හෝ සසුන රැක දෙන ලෙස දෙවියන් යැදීම ජේෂ්ඨ සංදේශ සියල්ලට මපොදු හා භක්තිය අරමුණ ය.

 මේඝදූතයේ එන දූතය අචේතනික වස්තුවක් වූ වලාකුළකි.මේඝදූතයට පසුව උතුරු ඉන්දියාවේ ලියවුණු ඇතැම් සන්දේශ කාව්‍යයක දුතයා වුයේ ද අචේතනික වස්තුවකි.නැතහොත් ආධ්‍යාත්මික කරුණකි. පවන,චන්ද්‍රයා,සිත,සීලය හා භක්තිය යනාදී වශයෙනි. එහෙත් සෑම සිංහල සන්දේශ කව්‍යයකම පාහේ දුතයා සචේතනිකය .එයිනුදු බොහොමයක් පක්ෂීහු වෙති.මොනරා,හංසයා,පරෙවියා,සැළලිහිණියා,ගිරවා හා සැවුලා මේ අතර බෙහෙවින් ජනප්‍රිය වූ දුතයෝ වෙති.

මේඝදූතයේ ආරම්භය වස්තු නිර්දේශයකින් සිදුවෙතත් සිංහල සංදේශ කාව්‍යවල ආරම්භය දූතාශිර්වදයකි.මේඝදූතය  ආරම්භ වන්නේ පහත දැක්වෙන ගීයනි.

“ එක් යක්- සෙනවියෙක්
සිය නිලයේ නොරැඳීයේ
වසරක මුළුල්ලේ විරහ විඳුව’යි
 හිමියාණන්  කළ සාපයෙන්
බෙල හීනව ගියේ,
ජානකිය දිය සැනැහුයෙන් පිවිතුරුව
තුරු සේ - වළල්ලෙන් පියකරුව  ගිය
රම් -ගිරි අසපු අඩවියේ විසී ”
(මෙඝදුතය -ම.ව සුගතපාල ද සිල්වා 1 .පි )

කාලිදාස සිය දූත කාව්‍ය රචනා කිරීමේදී උපයෝගී කර ඇත්තේ මන්දාක්‍රාන්තනම් වූ එකම විරිතකි.එහෙත් සිංහල කවීහු තම කාව්‍ය සඳහා සමුහයක් යොදා ගත්හ.ඒ නිසා සිංහල සන්දේශ කාව්‍යවල ඒකාකාර බව පහව ගොස් අමුතු එළියක් ලැබී ඇත.නිදසුනක් වශයෙන් සැළලිහිණියේ සහ මයුරයේ එන නළඟන රුගුම් ද හංසයේ එන දිය කෙළි වැනුම් ද දැක්වීමට පුළුවනි.මේවයේ විරිත් මාරුව නිසා සජීව බවක් හා අමුතු ලාලිත්‍යක් ද මතු වී පෙනේ.මේ අතර සන්දේශ සියල්ලට ම පාහේ පොදු  විරිත් කීපයක් ද දක්නට ලැබේ.දුතාශිර්වදයෙහි දක්නා ලැබෙන ගී විරිත එවැන්නකි.ප්‍රථම පාදයේ මාත්‍රා 9 ක් ද ඊලඟ පාදයන්හි මාත්‍රා 11 බැගින් ද මාත්‍රා 42කින් යුත් මෙම විරිත යහ ගී විරිත නමින් හැඳින්වේ.පාදයක මාත්‍රා 18 බැගින් සමුද්‍රඝෝෂ විරිත පොදු විරිතකි.යහ ගී විරිත හා සමුද්‍රඝෝෂ විරිත එක් කොට ගෙන සැදුණු උපජාති විරිතින් බැඳුණු දසපද සැහැලි ද බොහෝ කව්‍යයන්හි දැකිය හැකිය.

සිංහල සන්දේශ කාව්‍ය හා මේඝදුත කාව්‍යයෙහි යම් සමාන කමක් දක්නට ලැබේ නම් ඒ කාව්‍ය සන්දර්භ අතිනි.එය ඉතා සුළු වුවකි.දුත වර්ණනා, මග තොරතුරු දැක්වීම හා දූතාශිර්වාදය වැනි අංග මේඝදූතය සමඟ සදෘශ කොට කතා කළ නොහැකිය. එහෙත් උචිතානුචිත බව අනුව සලකන කල සිංහල කාව්‍යවලට වැඩි උචිත බවක් මේඝදූතයෙහි දක්නට ලැබේ. කාලිදාස කවියා අතට පත්වන කවර වස්තුවක් වූවත් මූලික රසයට අනුගත වන පරිද්දෙන් ම රස ජනනය කෙරේ.සිංහල සන්දේශ කවියන් තුළ ඒ වාසනා ගුණය නොවිය.මේ නිසා ශාන්ත රසයෙන් යුතු විය යුතු හංස සන්දේශය වැනි කාව්‍යයක පවා ශෘංගාරය යොදා ගත තැන් එමට ය.මේඝදූතයේ එන ඇතැම් ලක්ෂණ සිංහල සන්දේශ කවීන් අත් හළ බවක් ද පෙනේ.


2 comments: