Thursday, July 20, 2017

නොදුටු හිට්ලර්





ජර්මනියේ පාලකයාව සිටි ඇඩොල්ෆ්ට් හිට්ලර් වරක් ඉතාලියේ සංචාරයකට යාමට සිදුවිය. ඒ සඳහා ඔහුට ආරාධනා කොට තිබුණේ ඉතාලියේ තුන්වන වික්ටර් එම්මැනුවල් රජු විසිනි.හිට්ලර්ගේ ජර්මන් රජය සහ ඉතාලියේ බෙනිටෝ  මුසොලිනිගේ පැසිස්ට් රජය අතර වන සබඳතා ද එවකට  ඉහලින් පැවතුණි. මේ ඉතාලි සංචාරය 1938 දී සිදුවූවක් වූ අතර එවකට දෙවන ලෝක යුද්ධය ඇරඹි නොතිබිණ. ජර්මනිය ආසන්නයේ ඇති යුරෝපා රටවල හිට්ලර්ගේ සංචාර සාමාන්‍යයෙන්  සිදු වුයේ දුම්රිය මගිනි.මෙවැනි විදේශ සංචාර සඳහා හිට්ලර් විශේෂ දුම්රියක් භාවිතයට ගෙන තිබුණේය. සිය ඉතාලි සංචාරයට සමීප ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරින් ද සහභාගී කර ගැනීමට හිට්ලර් උත්සුක විය.ඉතාලියේ රෝම දුම්රිය ස්ථානයට ආසන්න වෙමින් තිබියදී ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරින්ද, දුම්රියේ තමාගේ විශේෂ මැදිරියකට හිට්ලර් විසින් කැඳවනු ලැබිය. ඒ විශේෂ උපදේශයක් දීම සඳහාය.ඇමතිවරුන් සහ නිලධාරීන් හමුවූ  හිට්ලර් ඔවුනට මෙසේ කිවේය.

“දැන් රෝම දුම්රියපොළේ අපව පිළිගන්න විට පදක්කම් වලින් කබාය පුරවගත්තු කොට පුද්ගලයෙක් දකින්න පුළුවන් වෙයි. කවුරුත් එයාට හිනාවෙන්න එහෙම එපා.එයා තමයි වික්ටර් එම්මැනුවල් රජ්ජුරුවෝ.මං හිතන්නේ ලෝකයේ කොටම රජ්ජුරුවෝ එයා වෙන්නට ඕනෑ.’’

තවත් වරක් හිට්ලර් සිය පෙම්වතිය වූ ඊවා බ්‍රෝන් සමඟ චිත්‍ර කලාව ගැන කථා කරමින් සිටියේය. ඔහු ද  මුල් යුගයේ චිත්‍ර ශිල්පය ප්‍රගුණ කළේය. එහිදී ඊවා බ්‍රෝන් මෙසේ කීවාය
.
“වඩා හොඳ සිතුවම් ඇතුලත් කලාගාරයක් ඇති කිරීමට ඔබ උනන්දු නොවන්නේ ඇයි ? කලාගාරයක් ඇති කළොත් හොඳයි. එත් ඊට චිත්‍ර ලබාදීමට ඒවා නිර්මාණය කළ චිත්‍ර ශිල්පීන් කැමති විය යුතුය. ඉතින් ඔබට පුළුවන්නේ කලාගාරයට චිත්‍ර ලබා දෙන්න කියා ඔවුනට නියෝග කරන්න.”

හිට්ලර් එයට පිළිතුරු දුන්නේ මෙසේය.

  “ මගේ කලාගරයට චිත්‍ර ලබා දෙන්න කියා චිත්‍රශිල්පින්ට  නියෝග දෙන්න මට බැහැ. මං කොහොමද බලෙන් චිත්‍ර ගෙන්වා ගන්නේ.ඔවුන් ඒවා දෙන්න ඕන කැමැත්තෙන්. කැමති නැත්නම් මං මොනවා කරන්නද ?

මේ කාලය වන විට හිට්ලර් ලෝකයේ රටවල් රැසක් යටත් කරගනිමින් සිටි වකවානුවක් වුවද තමාගේ කලාගාරයට චිත්‍ර ශිල්පීන්ගෙන් බලහත්කාරයෙන් චිත්‍ර ලබාගැනීමට ඔහු අකමැති විය. හිට්ලර්ගේ චරිතය විමසීමේදී හරි හෝ වැරදි වුවද රට පිළිබඳ විනා සිය පෞද්ගලිකත්වය ගැන අවධානයක් යොමු කර නැති බව පෙනේ. තවත් වරක ඊවා බ්‍රෝන් යම් දෙයකට හිට්ලර් සමඟ  ඔට්ටුවක් ඇල්ලීමට සුදානම් වුවාය. ඊට හිට්ලර් පිළිතුරු දුන්නේ මෙසේය.

“මං කැමැති නැහැ  ඔයා එක්ක ඔට්ටු අල්ලන්න.මොකද ඔයා පැරදුනොත් ඔයා මට ගෙවන්න වෙන මුදලුත් දෙන්න වෙන්නේ මටමනේ.”

දෙවන ලෝක යුද්ධය දරුණු අන්දමින් පැතිර යමින් තිබියදී සෑම සැන්දෑවකම සිය ඇමතිවරුන් යුද නිලධාරීන් සහ හිතවතුන් පිරිවරා කොපි පානය කිරීමට හිට්ලර් කැමැත්තක් දැක්විය.මෙවැනි අවස්ථාවක හිට්ලර් මෙසේ කිවේය.

“මාව පිළිගන්න තියෙන උත්සව වලට පොඩි ළමයින් ගෙන්වනවාට මම කැමති නැහැ.අපේ හතුරෝ මාව ඉලක්ක කරලා පහර දුන්නොත් ඒ පොඩි ළමයි අනතුරට පත්වෙන්න පුළුවන්.”

හිට්ලර්ගේ අවසාන පෞද්ගලික ලේකම්වරිය වූ ට්‍රවුඩ් යුන්ග් සිය චරිතාපදානය ලියමින් සඳහන් කර ඇත්තේ පුද්ගලයෙකු ලෙස හිට්ලර් සිය නිලධාරීන්ට කාරුණිකව සැලකු බවය.කාන්තවන් කෙරේ නිසි ගරුත්වයක් ඔහු ලබා දුන් බව ඇය පවසා ඇත.පෞද්ගලික ප්‍රයෝජනය සඳහා සිය නිලබලය කිසි දිනක හිට්ලර් විසින් යොදා නැති බව ඇය සඳහන් කර තිබේ.සිය දීර්ඝ කාලීන පෙම්වතිය වූ ඊවා බ්‍රෝන් මියයාමට පෙර විවාහ කර ගැනීමට ඔහු තීරණය කළේ හිට්ලර්ගේ අනියම් බිරිඳ ලෙස ඉතිහාසයේ සඳහන් වීම වැලැක්වීම සඳහාය. ඊවා බ්‍රෝන් හිට්ලර් සමඟ 1945 අප්‍රේල් 30 දින දිවි නසගනු ලැබුවේ හිට්ලර් මහත්මිය ලෙසින් නැතහොත් ඔහුගේ නිත්‍යානුකුල බිරිඳ ලෙසය.



No comments:

Post a Comment